
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස මෙරට ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙන්නේ, මෙරට ඉහළම උසාවිවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සලකා බලමින් සිටින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බවයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කළ දා සිට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 ලෙස ස්ථාවරව පවතින බැවින්, එය අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව නීතිඥ සංගමයේ ස්ථාවරය වී තිබේ.
එවැනි වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය නොවන මෙන්ම සුදුසු නොවන එකක් බවත්, එමඟින් අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය දක්වන කැපවීම පළුදු විය හැකි බවත් එම සංගමය තර්ක කරයි.
විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ තනි අරමුණින් පමණක් ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක යටි අරමුණු පිළිබඳව මහජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවට නීතිඥ සංගමය අනතුරු අඟවයි.
තවද, 2020 වසරේ සිදුකළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ උසාවි දෙකෙහිම විනිසුරුවරුන් සංඛ්‍යාව දැනටමත් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බව ඔවුහු පෙන්වාදෙති.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 11 සිට 17 දක්වාත් වැඩි කර තිබේ.
නීතිඥ සංගමයට අනුව, මෙම සාමාජික සංඛ්‍යාව ඉහළ නැංවීම මඟින් උසාවිවල ධාරිතාව ප්‍රමාණවත් පරිදි ශක්තිමත් වී ඇති බැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සේවා අවශ්‍යතාවය මත පදනම් වූ කිසිදු සැබෑ සාධාරණීකරණයක් නොමැත.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසේ සිදුවන ඕනෑම වෙනස් කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන බව පෙන්වා දෙන නීතිඥ සංගමය, ව්‍යවස්ථාවට මෙලෙස තැනින් තැන සිදුකරන තාවකාලික වෙනස්කම්වලට එරෙහිව අවධාරණය කරයි.
මෙරට ඉතිහාසය පුරා බලයට පත් වූ විවිධ පාලනයන් සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පාවාදෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිතර නිතර සංශෝධනය කර ඇති බව නීතිඥ සංගමය සිහිපත් කරයි.
මෙවැනි වටපිටාවක ධුරය දරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අධිකරණයට සෘජුවම බලපෑම් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස අර්ථකථනය විය හැකි බව නීතිඥ සංගමය අවධාරණය කරයි.
එවැනි පියවරක් මහජන විශ්වාසය පළුදු කරනවා පමණක් නොව, අදාළ විනිසුරුවරුන්ගේ ගරුත්වයට ද නිගරුවක් විය හැකි බව එම සංගමය පවසයි.
මෙහි දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු අඟවමින් නීතිඥ සංගමය කියාසිටින්නේ, මෙම යෝජිත සංශෝධනය මඟින් අනාගත පාලනයන් ද තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණයට බලපාන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට භයානක පූර්වාදර්ශයක් සැපයිය හැකි බවයි.
“අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය අප ජනරජයේ නීතියේ ආධිපත්‍යයේ සහ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයේ නොබිඳිය හැකි කුළුණු වේ,” යැයි නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.
අධිකරණය ප්‍රායෝගිකව ස්වාධීන විය යුතු අතරම, එය සම්පූර්ණයෙන්ම ස්වාධීන, අපක්ෂපාතී සහ කිසිදු බලපෑමකින් හෝ අනිසි ක්‍රියාවක සේයාවකින් තොර ආයතනයක් ලෙස බාහිර ලෝකයට දෘශ්‍යමාන විය යුතු බව සංගමය අවධාරණය කරයි.
නීතියේ ආධිපත්‍යය සුරැකීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තමන් සතු වගකීම ඉටුකිරීමක් වශයෙන් මෙම කනස්සල්ල ප්‍රකාශ කිරීමට සිදුවූ බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මෙම යෝජිත සංශෝධනයෙන් අධිකරණයේ හෝ මහජනතාවගේ කිසිදු යහපතක් සිදුනොවන බව නැවත වරක් අවධාරණය කර සිටියි.
මෙම ලිපිය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන් අත්සන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart