June 2, 2026

ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද නැතහොත් වත්මන් ගාස්තු එලෙසම පවත්වා ගෙන යන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය එළැඹෙන ජූනි මස 30 වැනිදා සිදුකරන විශේෂ සමාලෝචනයකින් පසු ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව කළමනාකාර සහකාර නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල උත්සවයට අද එක්වීමෙන් අනතුරුව, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට පසුගිය මස 19 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මෙහිදී මතක් කර දුන් අමාත්‍යවරයා, ජල මණ්ඩලයේ වත්මන් මෙහෙයුම් පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය කර ගැනීමට දැනට පවතින ජල ගාස්තු ව්‍යුහය ප්‍රමාණවත් බව එම කැබිනට් පත්‍රිකාව මඟින්ද අනාවරණය වී තිබූ බව පෙන්වා දුන්නේය.

විදුලි බිල ඉහළ යාම ජල ගාස්තුව කෙරෙහි බලපෑමක් ඇති කරන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“විදුලි ගාස්තු වැඩිවීම ජල නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් ඇති කරන බව ඇත්ත. නමුත් එය ජල බිලට බලපාන්නේ ඉතාමත් අවම මට්ටමකින්. කෙසේ වෙතත්, ඉදිරි පියවර තීරණය කිරීම සඳහා ජූනි 30 වැනිදා විශේෂ සමාලෝචනයක් පවත්වනවා. එහිදී ගන්නා තීරණය අනුව ජල ගාස්තුවේ ඉදිරි සංශෝධනයක් සිදුවන්නේද නැතිද යන්න නිල වශයෙන් රටට ප්‍රකාශ කරනවා.”

ඒ අනුව ජූනි මස අවසානය දක්වා දැනට පවතින ජල ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, ඉදිරි තීරණ සියල්ල නිසි සමාලෝචනයකින් පසුව පමණක් ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.