June 2, 2026

බෙන්තොට පාලම මත තිබී හමු වූ රුපියල් 150,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් එහි නීත්‍යානුකූල අයිතිකරු සොයා නැවත බාරදීමට කටයුතු කළ බෙන්තොට පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අවංකභාවය කාගේත් ඇගැයීමට ලක්ව තිබේ.

පසුගිය ඉරිදා (31) දින බෙන්තොට පාලම අසල රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් ඉසුරු සමීර (60706) සහ පොලිස් කොස්තාපල් රමේෂ් අරවින්ද (79425) යන නිලධාරීන්ට මෙම දුරකථනය පාලම මත තිබී හමුවී ඇත.

පසුව ඔවුන් එහි අයිතිකරු එය සෙවීමට නැවත පැමිණෙන්නේදැයි බැලීම සඳහා එම ස්ථානයේම රැඳී සිටීමට තීරණය කර තිබේ.

මඳ වේලාවකට පසු තරුණයකු එම ස්ථානයට පැමිණ තමාගේ ජංගම දුරකථනය අස්ථානගත වී ඇති බව පවසා ඇති අතර, එහිදී නිලධාරීන් විසින් එහි අයිතිය නිවැරදිව තහවුරු කර ගැනීමෙන් අනතුරුව බෙන්තොට පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාරගේ උපදෙස් මත අදාළ දුරකථනය එම තරුණයා වෙත නිල වශයෙන් බාරදීමට කටයුතු කර ඇත.