June 2, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තමන් බන්ධනාගාරගත කර සිටි කාලය තුළ, සිය අත්සන ව්‍යාජ ලෙස යොදා ප්‍රාදේශීය සභා සේවකයන් 11 දෙනකු සඳහා රුපියල් හයලක්ෂ විසිපන්දහසකට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ් චෝදනා කරයි.

තම අත්සන වංචනික ලෙස යොදා සිදුකර ඇති මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව, ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙසේද පැවසීය:

“අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය මඟින් මාව අත්අඩංගුවට ගෙන කොළඹ බන්ධනාගාරයේ රඳවා සිටි කාලය තුළ, සේවකයන්ට පඩි ගෙවීම සඳහා අප්‍රේල් මස 7 වනදා මගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් වැටුප් ගෙවීමේදී ඒ සඳහා පත්කර සිටින නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ ඔවුන්ගේ අත්සන් තැබීමෙන් පසුවයි මගේ අත්සන නිත්‍යානුකූලව යෙදිය යුත්තේ. නමුත් මෙහිදී සිදුවී ඇත්තේ නිලධාරීන් අත්සන් තැබූ දිනයට පෙර දිනයක මගේ අත්සන හොරට යොදා තිබීමයි.

මම ප්‍රාදේශීය සභාවේ නොසිටි කාල සීමාව තුළ මගේ නමින් යොදා ඇති මෙම ව්‍යාජ අත්සන මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේ ආකාරයට හොර අත්සන් ගසා පඩි ගෙවීම පමණක් නෙවෙයි, මගේ අත්සන ව්‍යාජව යොදා තවත් කූඨ ලේඛන සකස් කර ඇති බවටත් මට දැඩි සැකයක් පවතිනවා. ඒ නිසයි මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද උදෑසන නුවරඑළිය පොලිසියට සහ පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට ලිඛිත පැමිණිලි බාර දුන්නේ.”

මීට අමතරව, ඉදිරියේදී ප්‍රාදේශීය සභාවෙන් තම අත්සන සහිතව නිකුත් වන ලිපි ලේඛන පිළිබඳව තමන් සමඟද සාකච්ඡා කර, ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට පියවර ගන්නා ලෙස සභාපතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදුකරන මෙම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියෙන් සහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් තහවුරු කළේ සභාපතිවරයාගෙන් තමන් වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඒ අනුව, අදාළ වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි විමර්ශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවද එම ආයතන ප්‍රකාශ කළේය.