June 2, 2026

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය සියයට 7ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කෙරුණු කාලීන වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, මැදපෙරදිග ගැටුම් කෙටි කලකින් අවසන් වනු ඇතැයි මුලින් අපේක්ෂා කළද, එය දිගින් දිගටම ඇදී යාම ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යාම උද්ධමනය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා දැනට සියයට 5.4ක් හෝ 5.5ක් වැනි මට්ටමක පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති උද්ධමනය, පවතින තත්ත්වය මෙලෙසම පැවතුණහොත් තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන් කළේය.

“ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යන බව අප නිරීක්ෂණය කර තිබෙනවා. නමුත් පාරිභෝගික ඉල්ලුමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය දිගටම පැවතුණහොත් උද්ධමනය සියයට 5 සීමාව ඉක්මවා ගොස් සියයට 7 දක්වා වුවත් ඉහළ යාමේ අවදානමක් තිබෙනවා,” යනුවෙන් ඔහු එහිදී පැවසුවේය.

උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මහ බැංකුව මෑතකදී සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට කටයුතු කළ බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී පැහැදිලි කළේය.

උද්ධමනය තවදුරටත් වේගයෙන් ඉහළ යාම වැළැක්වීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගික ඉල්ලුම සීමා කිරීම අත්‍යවශ්‍ය වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, විධිමත් බැංකු පද්ධතිය හරහා නීත්‍යානුකූලව උපයන ලද මුදල් ශ්‍රී ලංකාවට එවීමට කිසිදු බාධාවක් හෝ සීමාවක් පනවා නොමැති බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

කළු සල්ලි විශුද්ධිකරණය වැළැක්වීමේ නීති රීතිවලට අනුකූලව, නීත්‍යානුකූල මාර්ගවලින් උපයන ඕනෑම මුදලක් කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකාවට එවීමට හැකි බව ප්‍රකාශ කළ ඔහු, නීතිවිරෝධී මාර්ගවලින් උපයන මුදල් සඳහා නීතිමය සහ නියාමනමය වශයෙන් දැඩි බාධාවන්ට මුහුණ දීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.