June 2, 2026

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි කතාබහකට ලක්ව ඇති නවතම නීතියක් වන ‘ඉම්පැක්ට් ප්ලේයර්’ (Impact Player) නීතිය 2026 තරග සමයේ සිට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙම නීතිය මඟින් තරගයක් අතරතුර ඕනෑම අවස්ථාවකදී ක්‍රීඩකයකු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට (Substitute) කණ්ඩායම්වලට අවස්ථාව ලැබෙන අතර, එමඟින් තරගයේ තත්ත්වයට අනුව උපක්‍රමශීලීව වෙනස්කම් සිදුකිරීමට නායකයන්ට සහ පුහුණුකරුවන්ට වැඩි නිදහසක් හිමි වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් මෙම නීතිය ඉවත්කරන ලෙස හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ඉල්ලා සිටින වටපිටාවක LPL සංවිධායකයන් මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.

මෙම නීතිය හේතුවෙන් පිතිකරුවන්ට අමතර වාසියක් ලැබෙන බවත්, එමඟින් ක්‍රීඩාවේ සමතුලිතතාවයට හානි සිදුවන බවත් තෙන්ඩුල්කාර් මෑතකදී තර්ක කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සචින් කියාසිටියේ, මෙම නීතිය හේතුවෙන් තරගවල ලකුණු සංඛ්‍යාවන් අධික ලෙස ඉහළ යන නමුත් තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ භූමිකාව හෑල්ලුවට ලක්වන බවයි.

එමෙන්ම ක්‍රීඩකයන්ට තම දක්ෂතා බහුවිධ ලෙස වර්ධනය කරගැනීමට ඇති අවස්ථා මෙයින් සීමා වන බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙම නීතිය සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් පිටියේ විවිධ මතභේද පැවතියද, උපක්‍රමශීලී ආදේශ කිරීම් (Tactical substitutions) අනුමත කරන ලද සෙසු විස්සයි20 ලීග් තරගාවලි මෙන්ම ඉදිරි තරග සමයේ සිට මෙය ක්‍රියාවට නැංවීමට LPL සංවිධායකයන් තීරණය කර ඇත.

ඒ අනුව, 2026 LPL තරගාවලිය සඳහා ක්‍රීඩා නීති රීති සංශෝධන කිහිපයක්ම එක් කිරීමට නියමිත අතර, ඒ අතරින් කැපීපෙනෙන සහ වැදගත්ම වෙනස්කම වන්නේ මෙම ‘ඉම්පැක්ට් ප්ලේයර්’ නීතියයි.