June 2, 2026

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ විසින් ගොනුකර තිබූ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (01) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් ඔහුට නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

පසුගිය 2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා නමැත්තා වරදකරු කෙරුණු අතර, 2015 ඔක්තෝබර් 14 වැනිදා කොළඹ මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කළේය.

මීට පෙර ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් අභියාචනාධිකරණය විසින්ද ප්‍රතික්ෂේප කර තිබූ අතර, ඉන් අනතුරුව මෙම මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු දෙකම බලශුන්‍ය කර තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අවසන් අභියාචනය ගොනුකර තිබිණි.

කෙසේවෙතත්, දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම අභියාචනය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීන්දු කරමින් පෙත්සම ප්‍රතික්ෂේප කළ අතර, මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම් තීන්දුව ඒ අයුරින්ම ස්ථිර කළේය.