June 2, 2026

ජාතීන් අතර අසමගිය සහ නොසන්සුන්තා ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උදය ගම්මන්පිල සහභාගී වූ ජනමාධ්‍ය වැඩසටහන්වල සංස්කරණය නොකළ (Unedited) මුල් දර්ශන ඇතුළත් පිටපත් කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අදාළ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකාවල ප්‍රධානීන්ට නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනුකළ විශේෂ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙහිදී CID නිලධාරීන් අධිකරණයට දන්වා ඇත්තේ, අදාළ සිදුවීමට සම්බන්ධයෙන් ජනමාධ්‍ය නාලිකාවල විකාශය වූ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (CDs) මේ වන විටත් තමන් භාරයට ගෙන ඇති බවයි.

කෙසේවෙතත්, විමර්ශන කටයුතු වඩාත් නිවැරදිව හා අපක්ෂපාතීව සිදු කිරීමට නම්, විකාශය වූ සංස්කරණය කළ කොටස් පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වාදී ඇත.

ඒ සඳහා අදාළ වැඩසටහන්වල සංස්කරණය නොකළ මුල් පිටපත් (Raw footage) පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය බැවින් මෙම නියෝගය නාලිකාවලට නිකුත් කරන ලෙස CIDය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය ඔස්සේ ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම විමර්ශන සාර්ථක කරගැනීම සඳහා මෙම සංස්කරණය නොකළ මුල් දර්ශන පෙළ පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය සාක්ෂියක් බවට CIDය කළ කරුණු දැක්වීම් පිළිගත් කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම විශේෂ නියෝගයට අවසර ලබාදී තිබේ.