June 1, 2026

ශ්‍රී ලංකාවේ මාතෘ සහ ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයිනේ සියලුම මාතෘ සායන ආවරණය වන පරිදි ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන අද (01) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

අමාත්‍යාංශයට අනුව, ජූනි මස 1 වැනිදා වන අද සිට ගැබිණි මවුවරුන්ගේ රුධිර පරීක්ෂණ සිදුකිරීමේදී, දැනට පවතින එච්.අයි.වී (HIV) සහ උපදංශ (Syphilis) පරීක්ෂණවලට අමතරව හෙපටයිටිස් බී (Hepatitis B) වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණය ද අනිවාර්යයෙන්ම ඇතුළත් කෙරේ.

එච්.අයි.වී සහ උපදංශ රෝග මවගෙන් දරුවාට බෝවීම වැළැක්වීම සඳහා වන ‘ද්විත්ව තුරන් කිරීමේ’ වැඩසටහන ශ්‍රී ලංකාව මීට පෙර සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, මෙම සුවිශේෂී සෞඛ්‍ය ඉලක්කය සපුරාගත් ලොව ප්‍රථම රටවල් කිහිපය අතරට එක්වීමට 2019 වසරේදී ශ්‍රී ලංකාව සමත් වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා නිල සහතිකය ද මෙරටට පිරිනමන ලදී.

එතැන් සිට අඛණ්ඩ ඇගයීම් මධ්‍යයේ ශ්‍රී ලංකාව එම තත්ත්වය රැකගෙන ඇත.

“එහි මීළඟ පියවර ලෙසයි මෙම ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන දැන් දියත් කර තිබෙන්නේ. මේ යටතේ එච්.අයි.වී සහ උපදංශ රෝගවලට අමතරව සෑම ගැබිනි මවක්ම හෙපටයිටිස් බී රෝගය සඳහා ද පරීක්ෂාවට ලක්කෙරෙනවා. දිවයින පුරා පිහිටි සෑම මාතෘ සායනයකදීම මෙම පරීක්ෂණ නොමිලේ සිදුකිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.