May 31, 2026

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය කටයුතු සම්බන්ධයෙන් පියවර ගැනීමේදී, මෙතෙක් අනුගමනය කරනු ලැබූ ස්ථාපිත සම්ප්‍රදායික ක්‍රමවේදයන් එලෙසම අනුගමනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වාදෙන්නේ, මෙවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙර ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකස් කර, ඒවා ප්‍රථමයෙන් මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවයි.

ඒ සඳහා දැනටමත් පවතින නිල යාන්ත්‍රණයන් භාවිත කළ යුතු අතර, සියලු ක්‍රියාමාර්ග රටේ සම්ප්‍රදායන්ට සහ ස්ථාපිත සිරිත් විරිත්වලට අනුකූලව සිදුවිය යුතු බව ද එජාපය පවසයි.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් සිවිල් සංවිධාන කොටස් එක්ව බුද්ධ ශාසනය සහ බුද්ධාගම ඉලක්ක කරගනිමින් ක්‍රමානුකූල සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවට ද එක්සත් ජාතික පක්ෂය මෙහිදී චෝදනා කර සිටී.

මෙම තත්ත්වය හේතුවෙන්, වර්තමානයේ ආගමික කරුණු සම්බන්ධයෙන් ඇතිව තිබෙන සංවාදයන් තුළදී මහාසංඝරත්නයේ සහ බෞද්ධ ගිහි ජනතාවගේ අදහස් උදහස් ක්‍රමයෙන් කොන්කිරීමට ලක්වෙමින් පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.