May 31, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහ ඔහුගේ නීතිඥයන් අතර සිදුවන සාකච්ඡා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බවට විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට එරෙහිව නීතිපති පාරින්ද රණසිංහ වෙත නිල වශයෙන් පැමිණිලි කිරීමට සලේගේ නීතිඥයන් පියවර ගෙන තිබේ.

සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට එරෙහි මෙම පැමිණිල්ල නීතිපතිවරයා වෙත වාචිකව දැනුම් දී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ නිල ලිඛිත පැමිණිල්ල භාරදීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

නඩු විභාගය අතරතුරදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය, සැකකරුවන්ගේ මෙන්ම නීතිඥවරුන්ගේ ද වෘත්තීය අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව සුරේෂ් සලේ ගේ නීතිඥයෝ පෙන්වා දෙති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට පැමිණිලි කිරීමට අමතරව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සලේගේ නීතිඥ පාර්ශ්වය තීරණය කර ඇත.

මේ අතර, මෙම නඩුවට අදාළව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී කළ තවත් ප්‍රකාශයකට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ද නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බවත්, සාක්ෂි සඟවන බවත්, විමර්ශන සඳහා හමුදාවෙන් සහයෝගයක් නොලැබෙන බවත් දිලීප පීරිස් එහිදී චෝදනා කර තිබිණි.

එසේම මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම සිදුවුවහොත් හමුදාපතිවරයා ද මෙම නඩුවේ සැකකරුවකු කිරීමට සිදුවන බවට ඔහු ප්‍රකාශ කර තිබිණි.

හමුදාව නීතිපතිවරයා වෙත පැමිණිලි කර ඇත්තේ මෙම ප්‍රකාශයට එරෙහිවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සල්ලෙයි මහතා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයේ පසුවෙයි.