May 30, 2026

රුපියල් මිලියන 31.38කට අධික වටිනාකමකින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන සහ ශ්‍රී ලාංකික මගීන් 18 දෙනකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සහ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානා කිහිපයකින් අද (30) අලුයම ගුවන්තොටුපොළ වෙත ළඟා වූ මෙම සැකකරුවන්, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වන ‘හරිත මාවත’ ඔස්සේ පිටව යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් වූ බව වාර්තා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 16 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් සියලු දෙනාම ව්‍යාපාරිකයන් බව වාර්තා වේ.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී, සැකකරුවන් සතු වූ ගමන් මලු 27ක් තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත සිගරට් කාටූන් 1,046ක් සොයාගෙන ඇත. එහි තිබූ මුළු සිගරට් ඇසුරුම් ගණන 209,200කි.

අත්අඩංගුවට ගත් මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් 31,380,000ක් (තුන්කෝටි දහතුන්ලක්ෂ අසූදහසක්) පමණ වන බව තක්සේරු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ පොලිසිය විසින් සිදුකරනු ලබයි.