May 30, 2026

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර පවසන්නේ, මෙවර අයි.පී.එල්. (IPL 2026) තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් නව යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශී දැන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට සුදුසු මට්ටමක පසුවන බවයි.

පසුගිය සිකුරාදා (29) පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ගුජරාට් ටයිටන්ස් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7ක පරාජයක් ලැබීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගක්කාර කියාසිටියේ, ඉහළම මට්ටමේ තරගකාරීත්වයක් ජයගැනීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය සහ දක්ෂතාව සූර්යවංශී සතු බව ඔහු ඔප්පු කර ඇති බවයි.

“යමෙක් අන්තර්ජාතික පිටියට සූදානම්ද නැද්ද කියලා අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ ඔවුන් ක්‍රීඩා කළාට පස්සෙයි. හැබැයි ලෝකයේ ඉන්න දක්ෂතම පන්දු යවන්නන්ට එරෙහිව වෛභව් මෙවර දැක්වූ දක්ෂතා දිහා බැලුවාම, ඔහුට ඉදිරිපත් කරන ඕනෑම අභියෝගයකට මුහුණදෙන්න ඔහු දැන් හොඳටම සූදානම් කියලා මම හිතනවා,” යැයි සංගක්කාර පැවසීය.

ඉදිරියේදී මෙම තරුණ පිතිකරුවා ජාතික කණ්ඩායමට ඇතුළත් වීම සඳහා ඇරයුම් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසූ හිටපු ශ්‍රී ලංකා නායකයා, ඉනිම ආරම්භ කරමින් ඔහු දැක්වූ මුහුකුරා ගිය ක්‍රීඩා විලාසය සහ කණ්ඩායමට ලබාදුන් දායකත්වය ද අගය කළේය.

එමෙන්ම, මෙම නව යොවුන් ක්‍රීඩකයාට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල විය හැකි බලපෑම් ඇතුළු බාහිර පීඩනයන්ගෙන් ඔහුව ආරක්ෂා කරමින්, ඔහුගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රාජස්ථාන් රෝයල්ස් කළමනාකාරීත්වය පියවර ගෙන ඇති බවද සංගක්කාර මෙහිදී අනාවරණය කළේය.

“ඔහු අපේ සියලුම කණ්ඩායම් රැස්වීම්වලට සහභාගි වෙනවා, අදහස් දක්වනවා, වගේම අන් අයට හොඳින් ඇහුම්කන් දෙනවා. ඔහු තමන්ගේ අඩුපාඩු හදාගන්න මහන්සි වෙලා වැඩකරන ක්‍රීඩකයෙක්. හොඳින් පුහුණුවීම් කරනවා වගේම පන්දු යවන්නන්ගේ උපක්‍රම හොඳින් තේරුම් අරගෙන තරගයට ඉතා හොඳින් සූදානම් වෙනවා,” යැයි සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

වෛභව් සූර්යවංශී මෙවර අයි.පී.එල්. තරග වාරය නිමාකළේ තරග 16කදී ලකුණු 776ක් රැස් කරමිනි.

මේ වන විට වැඩිම ලකුණුලාභියාට හිමි ‘තැඹිලි පැහැති තොප්පිය’ (Orange Cap) සඳහා වන සටනේ පෙරමුණේ පසුවන්නේද ඔහුය.

කෙසේ වෙතත්, අවසාන මහා තරගයේදී ඔහුගේ මෙම ලකුණු සංඛ්‍යාව පසුකර යාමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ශුබ්මන් ගිල් සහ සායි සුදර්ශන් යන ක්‍රීඩකයන්ට තවමත් අවස්ථාව පවතී.