May 30, 2026

ශ්‍රී ලංකාවේ පවතින නීතිමය සහ දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන මධ්‍යයේ වුවද, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම ඇමරිකා එක්සත් ජනපදයේ රැඳීසිටීම සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න හමුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔහු වෙනුවෙන් පෙනීසිට තිබේ.

බැසිල් රාජපක්ෂ නීතිය මඟහරිමින් සිටින බවට කෙරෙන ප්‍රකාශයන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂ පවුලේ කිසිදු සාමාජිකයකු නීතිමය ක්‍රියාමාර්ග මඟහරිනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ද හෙතෙම සඳහන් කළේය.

“මට වඩා ආණ්ඩුවේ ඉන්න අය මගේ බාප්පා එක්ක නිතර කතාබහ කරනවා. ඔහු විදේශගතව සිටින්නේ ඔවුන්ගේ උපදෙස් මතද කියා මම දන්නේ නැහැ. ඒක ඔබ ඔවුන්ගෙන් සහ මගේ බාප්පාගෙන් තමයි අහන්න ඕනේ. කෙසේවුවත්, ඔහු අධිකරණ ක්‍රියාවලිය තුළ අඛණ්ඩව නියෝජනය වෙනවා,” යැයි නාමල් රාජපක්ෂ පැවසීය.

බැසිල් රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රී ලංකා අධිකරණ ඉදිරියේ පෙනීසිටින බවත්, ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් ඔහු මෙහිදී පෙන්වාදුන්නේය.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විදේශගතව සිටිමින් අධිකරණ ක්‍රියාමාර්ග මඟහරින බවට එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, නිසි ක්‍රමවේද ඔස්සේ නීතිමය නියෝජනය සිදුවන බවත් අධිකරණ ක්‍රියාවලියට අනුගතව කටයුතු කරන බවත්ය.

එමෙන්ම රජයේ ප්‍රමුඛතාවන් පිළිබඳව ද ප්‍රශ්න කළ නාමල් රාජපක්ෂ, මහජනතාව පීඩාවට පත් කරන බහුවිධ ගැටලු රැසක් නොවිසඳී පවතිද්දී, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධ විමර්ශන කෙරෙහි රජය දැඩි අවධානයක් යොමුකර ඇති බවට චෝදනා කළේය.

පොහොර මිල ඉහළ යාම සහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන අභියෝග මෙන්ම, තේ කර්මාන්තයේ පවතින ගැටලු, කර්මාන්තශාලා වැසී යාම, රැකියා අහිමි වීම සහ රාජ්‍ය නිලධාරීන් ඉල්ලා අස්වීම වැනි බරපතළ කරුණු පිළිබඳව ඔහු මෙහිදී අවධාරණය කළේය. රට මුහුණ දී ඇති ආර්ථික හා පාලන ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවට, මෙවැනි ඉහළ පෙළේ විමර්ශන කෙරෙහි අවධානය යොමු කරමින් රජය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.