May 30, 2026

විවිධ විනය හේතූන් මත වැඩ තහනමට ලක්ව, තවදුරටත් වැටුප් ලබන රියදුරන් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මෑතකදී පවත්වා තිබේ.

මෙම කාරක සභාව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ සභාපතිත්වයෙන් රැස්විය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වාදුන්නේ, විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර සංඛ්‍යාවකගේ වැඩ තහනම් කර ඇති අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් වැටුප් ලබන බවයි.

පවතින විවිධ නීතිමය තත්ත්වයන් සහ අධිකරණ ක්‍රියාදාමයන් හේතුවෙන් ඇතැම් සිදුවීම්වලදී මෙලෙස අඛණ්ඩව වැටුප් ගෙවීමට සිදුව ඇති බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

එමෙන්ම මෙලෙස වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස් රථවල රියදුරන් ලෙස සේවය කරමින් අමතර ආදායමක් උපයන බව ද මෙහිදී අනාවරණය විය.

මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන, විනය ක්‍රියාමාර්ගවලට අදාළ ක්‍රියාපටිපාටීන් පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.

මීට අමතරව, ප්‍රවාහන ක්ෂේත්‍රයේ නීතිමය රාමුව ශක්තිමත් කරමින් එය වඩාත් සාධනීය මෙන්ම කාර්යක්ෂම පද්ධතියක් බවට පත්කිරීම සඳහා වන අනුකමිටු වාර්තාවේ අවසන් වාර්තාවත්, දුම්රිය දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම හා තෘප්තිමත් සේවා ආයතනයක් බවට පත් කිරීමේ අනුකමිටු වාර්තාවේ අතුරු වාර්තාවත් මෙහිදී පිළිගැන්විණි.

මෙම රැස්වීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මතුකරන ලද අතර, කාරක සභාවේ සභාපති අමාත්‍යවරයා එම ගැටලුවලට ප්‍රතිචාර දක්වමින්, ඒවා විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට නියෝග කළේය.