May 28, 2026

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් මිලියන 508ක (ඇමරිකානු ඩොලර් මිලියන 695ක පමණ) මුදලක් වහාම ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවසර හිමිවීමත් සමග එම අරමුදල විසින් මේ දක්වා ශ්‍රී ලංකාව වෙත නිදහස් කර ඇති සමස්ත මූල්‍ය සහය බිලියන 1.778ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් පමණ) දක්වා ඉහළ යයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව තහවුරු කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පොදුවේ ශක්තිමත් මට්ටමක පවතින බව මහ බැංකු නිවේදනයේ සඳහන් වේ.

එහිදී ඉන්ධන සහ විදුලි පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ පූර්ව කොන්දේසි සපුරා ඇත.

කෙසේ වුවද, අලුතින් බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීම සහ ආනයන සීමාවන් පැනවීම හෝ දැඩි නොකිරීම සම්බන්ධ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකයන් මෙහිදී නිරීක්ෂණය වී නොමැත.

එසේ වුවද, 2025 දෙසැම්බර් අවසානය සඳහා වූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායකයන් සපුරාලීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, ව්‍යුහාත්මක මිණුම්දඬු බොහොමයක් නියමිත පරිදි හෝ සුළු ප්‍රමාදයන් සහිතව ක්‍රියාත්මක කර තිබේ.

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සහ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ආර්ථිකයට යම් අවදානම් මතු වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිසංස්කරණ වැඩසටහන හරහා අසීරුවෙන් ළඟා කරගත් ජයග්‍රහණ හේතුවෙන්, ආර්ථිකයට සහය වීමට සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීමට කඩිනම් ප්‍රතිපත්තිමය පියවර ගැනීමට හැකියාව ලැබී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.