May 28, 2026

තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පැවැත්වූයේ යැයි පවසමින් සමාජය තුළ අසත්‍ය ප්‍රචාර පතුරුවන සියලුම පාර්ශවයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අවධාරණය කරයි.

තමා කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වා නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේදී ඉතා පැහැදිලිව සනාථ වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම අසත්‍ය චෝදනාවලට පසුබිම් වූ සැබෑ කරුණු පැහැදිලි කරමින් මුජිබුර් රහුමාන් මෙසේද පැවසීය.

“රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මා විසින් දුරකථන ඇමතුම් රැසක් ලබා දී ඇති බවට චෝදනාවක් එල්ල වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. එහිදී සිදුකළ විමර්ශනවලදී හෙළිවුණේ අදාළ දුරකථන අංකය අප සමඟ කලක් දේශපාලන කටයුතුවල නිරත වූ අපේ ප්‍රදේශයේම පුද්ගලයෙකුට අයත් එකක් බවයි. එම සිම් පත අයිති පුද්ගලයාගේ ඥාතියකු 2024 වසරේදී රිමාන්ඩ් බන්ධනාගාරගත වී තිබෙනවා. අප සමඟ වැඩකළ පුද්ගලයා විසින් පසුව මෙම සිම් පත බන්ධනාගාරගත වූ තමන්ගේ ඥාතියාට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී බලධාරීන් භාරයට ගෙන ඇත්තේ එම සිම් පතයි.”

මෙම දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තා පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“2021 වසරේ සිට 2024 දක්වා කාලය තුළ මා සමඟ දේශපාලන කටයුතු කළ පුද්ගලයා මා වෙත ලබාගත් ඇමතුම් පදනම් කරගෙනයි මේ අසත්‍ය චෝදනාව නඟන්නේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පුද්ගලයා කිසිදු අවස්ථාවක මට ඇමතුම් ලබා දී නැහැ. මේ දුරකථන ඇමතුම් ලබා දී ඇති ප්‍රදේශ මොනවාදැයි මා රහස් පොලිසියෙන් විමසුවා. එහිදී ඔවුන් තහවුරු කළා මේ ඇමතුම් සියල්ල මාලිගාවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල දුරකථන කුළුණුවලට සම්බන්ධ වූ ඒවා මිස, වැලිකඩ බන්ධනාගාර කුළුණට සම්බන්ධ වූ ඒවා නොවන බව. ඒ අනුව, මෙම ඇමතුම් ලබාගෙන ඇත්තේ බන්ධනාගාරගතව සිටි පුද්ගලයා නොව, පිටත සිටි අපේ දේශපාලන ක්‍රියාකාරිකයා බව ඉතාම පැහැදිලියි.” යැයිද පැවසීය.