May 27, 2026

මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක අද (27) ඇති වූ ගින්නකින් හටගත් දුම ආග්‍රහණය වීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 3 හැවිරිදි පිරිමි දරුවෙකු සහ ඔහුගේ 5 හැවිරිදි වැඩිමහල් සහෝදරියයි.

ඔවුන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

මියගිය දරුවන්ගේ මව පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මඩකලපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ඇයගේ සුවදුක් බැලීම සඳහා පියා විසින් මෙම දරුවන් දෙදෙනාව මඩකලපුවට කැඳවාගෙන විත්, තාවකාලිකව මෙම හෝටල් කාමරයේ නවාතැන් ගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී පියා විසින් දරුවන් දෙදෙනාව කාමරය තුළ තබා, දොර අගුලු දමා අසල ඇති වෙළඳසැලකට ගොස් ඇත.

එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා ගිනිකූරක් හෝ ලයිටරයක් ආධාරයෙන් සෙල්ලම් කරමින් සිට ඇති අතර, එහිදී කාමරයේ තිබූ ඇඳන් දෙකෙන් එකක මෙට්ටයකට එකවරම ගිනි ඇවිලී තිබේ.

ගින්න දැක බියට පත් වූ කුඩා දරුවන් දෙදෙනා, ගිනි නොගත් අනෙක් ඇඳ යටට රිංගා සැඟවී ඇත.

හෝටල් කාමරයෙන් අධික ලෙස දුම් පිටවන අයුරු දුටු හෝටල් සේවකයන් සහ අවට වැසියන් වහා ක්‍රියාත්මක වී කාමරයේ දොර කඩා දමා ඇතුළු වී ඇත.

ඒ වන විටත් අධික දුමාරය ආග්‍රහණය වීම හේතුවෙන් දරුවන් දෙදෙනා ඇඳ යට සිහිසුන්ව සිට තිබේ.

වහාම ක්‍රියාත්මක වූ පිරිස දරුවන්ව රෝහල් ගත කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් මියගොස් සිටි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.