May 27, 2026

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ පුවත් පිළිබඳ සැලකිලිමත් වන ලෙස අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

විවිධ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන අවභාවිත කරමින් මෙම ව්‍යාජ තොරතුරු නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

එම නිවේදනයට අනුව, අග්‍රාමාත්‍යවරිය ඇතැම් අදහස් ප්‍රකාශ කරන අයුරින් සකස් කරන ලද ව්‍යාජ ලෙස සංස්කරණය කළ වීඩියෝ සහ ඇයගේ ඡායාරූප ඇතුළත් කරන ලද ව්‍යාජ සටහන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙලෙස සංසරණය වන අසත්‍ය තොරතුරු අතර ව්‍යාපාරික සහ රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්තිවලට අදාළ නොමඟ යවන සුළු ප්‍රකාශ ද ඇතුළත් වන බව වාර්තා වේ.

මෙම ව්‍යාජ පුවත් සහ දර්ශන කෘත්‍රිම බුද්ධිය සහ අනෙකුත් නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් නිර්මාණය කර ඇති බැවින්, එවැනි දෑවලට නොමඟ නොයන ලෙසත්, නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත් මාධ්‍ය අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රජයට සහ අග්‍රාමාත්‍යවරියගේ කීර්ති නාමයට හානි වන අයුරින් මෙලෙස අසත්‍ය තොරතුරු නිර්මාණය කරන සහ ඒවා සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.