May 27, 2026

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඇල්ටෝ ධර්මේ නම් සැකකරු ද වන බව සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කරන්නේ ඔවුන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුවද එරට ආරක්ෂක අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.

ධන කුවේරයෙක් ලෙස එරට ජීවත් වී ඇති බව කියන ශිරාන් බාසික් මේ වන විට අත්අඩංගුවෙන් නිදහස් වීමට දැඩි උත්සාහයක නිරතව සිටින බව බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

ශිරාන් බාසික් පොලිසිය, දේශපාලනඥයන් ඇතුළු සමාජයේ විවිධ මට්ටමේ පුද්ගලයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බව ද බුද්ධි අංශ සඳහන් කරයි.

ඔහුට මෙරට හා විදෙස් රටවල ද ව්‍යාපාර හා දේපොළ ඇති බව කියැවේ.

ඔහුගේ පුත්‍රයාට අයත් මෝටර් රථයක් ඇතුළු දේපළ තහනම් කිරීමට පසුගිය සමයේ පොලසිය කටයුතු කර තිබිණි.