May 26, 2026

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, මූල්‍ය හිඟකම හේතුවෙන් මේ වසරේ මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශයක් පිළිබඳ අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මැතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් වෙන් කර ඇති බවත් අමාත්‍ය ජයතිස්ස සඳහන් කළේය.

කෙසේවෙතත්, මැතිවරණය පැවැත්වීමට ඇති ප්‍රධානතම බාධාව මුදල් නොව, ඊට අදාළව පවතින නීතිමය ප්‍රතිපාදන පිළිබඳ ගැටලුවක් බව ඔහු පැහැදිලි කළේය.

මෙම නීතිමය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු කමිටුවක් කටයුතු කරමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

අවශ්‍ය නීතිමය රාමුව සකස් වූ සැණින්, හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට හැකි වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“මෙම රජය මාස අටක් ඇතුළත දැනටමත් මැතිවරණ දෙකක් පවත්වා තිබෙනවා. අපගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනතාවගේ පරමාධිපත්‍යය සුරකිමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි,” යැයි ඔහු පැවසීය.

මැතිවරණය සඳහා මුදල් වෙන් කර නොතිබුණ ද, අවශ්‍යතාවක් වුවහොත් අතිරේක ඇස්තමේන්තුවක් මඟින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට වුවද හැකියාව පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී පෙන්වා දුන්නේය.