May 26, 2026

වෙළඳපොළ තුළ ඇති වූ අනුමාන කිරීම් හේතුවෙන් ඩොලරය සඳහා පැවති අධික ඉල්ලුම පාලනය කිරීමට සහ පසුගිය සතියේ විනිමය අනුපාතිකයේ සිදුවූ දැඩි උච්චාවචනයන් සමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ‘කුඩා පරිමාණයේ මැදිහත්වීම්’ සිදුකර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

අද (26) පැවැති මුදල් ප්‍රතිපත්ති සමාලෝචන මාධ්‍ය හමුවේදී වත්මන් වෙළඳපොළ හැසිරීම පිළිබඳ අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටියේ, අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ සහ සාමාන්‍ය වාණිජ බැංකු අනුපාතිකයන් අතර කෙටි කාලීන නොගැළපීමක් පසුගියදා දක්නට ලැබුණු බවයි.

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම, දේශීය ආර්ථිකයේ ඉල්ලුම වර්ධනය වීම සහ උද්ධමනකාරී පීඩනය සැලකිල්ලට ගනිමින් මහ බැංකුව අද උදෑසන සිය නිත්‍ය ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය පදනම් ලකුණු 100කින්, එනම් 8.75%ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත්තේය.

ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් දේශීය බලශක්ති පිරිවැය ද තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් 2026 අප්‍රේල් මාසය වන විට වාර්ෂික උද්ධමනය 5.4%ක් දක්වා තල්ලු වී ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙන්වා දෙයි.

“පසුගිය සතියේ විනිමය අනුපාතිකයේ හැසිරීම් දෙස බැලීමේදී එහි අධික ඉල්ලුමක් පැවති බව පෙනී යනවා. අන්තර් බැංකු වෙළඳපොළ අනුපාතිකය සහ වාණිජ බැංකු අනුපාතිකය අතර සාමාන්‍ය සමතුලිතතාවක් තිබිය යුතු වුවත්, එය ඉන් බැහැර වී තිබුණා,” යැයි ආචාර්ය වීරසිංහ වෙළඳපොළ නොගැළපීම පැහැදිලි කරමින් කියා සිටියේය.

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහ බැංකුව ඉලක්කගත පියවර ගත් බව ඔහු පැවසීය.

“නැවතත් සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීම සඳහා අපි යම් යම් පියවර ගත්තා. ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා සවස් වන විට අපි මහා භාණ්ඩාගාරය සමඟ රැස්වීමක් පවත්වා, වාණිජ බැංකුවල ගැණුම් සහ විකුණුම් මිල ගණන්වලට අනුකූලව අන්තර් බැංකු අනුපාතිකය ස්ථාවර කිරීමට අවශ්‍ය පියවර සාකච්ඡා කළා. එයින් වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත් වුණා” යනුවෙන් ඔහු පැවසීය.

මෙම නියාමන මැදිහත්වීම් සහ ඒකාබද්ධ සාකච්ඡාවලින් පසුව, විදේශ විනිමය වෙළඳාම් කටයුතු දැන් සැළකිව යුතු ලෙස සුමට වී ඇති බව ඔහු සඳහන් කළේය.

මූල්‍ය පද්ධතිය තුළ මුදල් සංසරණය වීමේ සමස්ත ප්‍රවණතාව පිළිබඳ සුභවාදී අදහස් පළ කළ වීරසිංහ, වෙළඳපොළේ සෞඛ්‍ය සම්පන්න භාවය යහපත් වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

“දැනට වෙළඳපොළ තුළ හොඳ ද්‍රවශීලතාවක් පවතිනවා. එය ඉතා සාධනීය වර්ධනයක්,” යැයි අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.