May 26, 2026

සුපිරි සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදනය කරන ලොව සුප්‍රකට ඉතාලි ෆෙරාරි සමාගම, සිය ප්‍රථම පූර්ණ විදුලි මෝටර් රථය වන ‘ලූචේ’ (Luce) මාදිලිය නිල වශයෙන් එළිදක්වා තිබේ.

මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් 640,000ක් පමණ වේ.

ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන නිර්මාණ නිලධාරී සර් ජෝනි අයිව් විසින් ආරම්භ කරන ලද ‘LoveFrom’ ආයතනය සමඟ ඒකාබද්ධව මෙය නිර්මාණය කර ඇත.

සාමාන්‍ය ෆෙරාරි රථවල සාම්ප්‍රදායික පෙනුමෙන් බැහැරව නිපදවා ඇති මෙය, ෆෙරාරි ඉතිහාසයේ ප්‍රථම අසුන් 5කින් යුත් මෝටර් රථය වීම විශේෂත්වයකි.

ඉතාලි භාෂාවෙන් ‘ආලෝකය’ යන අර්ථය ඇති ‘ලූචේ’ රථය නිර්මාණය කිරීම සඳහා වසර පහක කාලයක් ගත වූ බව ෆෙරාරි ප්‍රධාන විධායක නිලධාරී බෙනඩෙටෝ විග්නා ප්‍රකාශ කළේය.

මෙම මෝටර් රථයේ නවතම පෙනුම පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ අදහස් පළවෙමින් පවතී.

ඇතැම් පිරිස් මෙය ‘කසළ ගොඩට දැමිය යුතු කුණු ගොඩක්’ ලෙස හඳුන්වද්දී, තවත් පිරිසක් මෙය ‘නිර්මාණකරණයේ විශිෂ්ටතම ආදර්ශයක්’ ලෙස හඳුන්වා දී ඇත.

මීට පෙර බ්‍රිතාන්‍යයේ ‘ජගුවර්’ සමාගම සිය සම්භාව්‍ය පෙනුම වෙනස් කරමින් හඳුන්වා දුන් විදුලි සංකල්ප රථයට එල්ල වූ විවේචනවලට සමාන විවේචන රැසකට ෆෙරාරි සමාගමට ද මුහුණ දීමට සිදුව ඇත.

X ගිණුමක සටහන් වී තිබුණේ ‘ජගුවර් සමාගම වගේම ෆෙරාරිත් තමන්ගේ සන්නාමය විනාශ කරගත්තා’ යනුවෙනි.

කෙසේවෙතත්, ෆෙරාරි හි ප්‍රධාන සැලසුම් නිලධාරී ෆ්ලේවියෝ මන්සෝනි ප්‍රකාශ කළේ, නවෝත්පාදන ක්‍රියාවලියකදී මෙවැනි විවේචන සාමාන්‍ය දෙයක් බවයි.

මෙම සැලසුම සමාජය බෙදා වෙන් කරන එකක් වුවද, ඉදිරි මාස කිහිපය තුළ මිනිසුන් මෙහි වටිනාකම වටහා ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

ලූචේ රථයේ සෑම රෝදයකටම ෆෙරාරි සමාගම විසින්ම නිපදවන ලද වෙනම විදුලි මෝටරයක් සවි කර ඇති අතර, එමඟින් පැයට සැතපුම් 60ක වේගය තත්පර 2.5ක් වැනි කෙටි කාලයකදී ලබාගත හැක.

මෙහි සියලුම කොටස් ෆෙරාරි සමාගම තුළම නිෂ්පාදනය කර ඇති බැවින්, අනාගතයේදී ඕනෑම කාලයකදී සමාගම හරහාම ප්‍රතිසංස්කරණය කළ හැකි අතර එමඟින් රථයේ නැවත විකුණුම් මිල ආරක්ෂා වේ.

විදුලි රථ නිපදවුවද, ෆෙරාරි සමාගම සිය සාම්ප්‍රදායික පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් මෝටර් රථ නිෂ්පාදනය ද අඛණ්ඩව සිදුකරන බව පවසයි.

ලොව පුරා පවතින උද්ධමනය හේතුවෙන් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම පහත වැටී ඇති අතර, මේ හේතුවෙන් පසුගිය වසර තුළ ෆෙරාරි සමාගමේ කොටස් අගය ද 25%කට වඩා පහත වැටී තිබේ.

කෙසේවෙතත්, ෆෙරාරි හි ප්‍රධාන තරඟකරුවන් වන ලැම්බෝගිනි සහ පෝර්ෂේ වැනි සමාගම්, ඉල්ලුම අඩු වීම සහ ලාභදායී ලෙස වාහන නිෂ්පාදනය කරන චීන සන්නාමයන්ගෙන් එල්ල වන දැඩි තරඟකාරිත්වය හේතුවෙන් සිය විද්‍යුත් වාහන සැලසුම් තාවකාලිකව අත්හැරීමට හෝ සීමා කිරීමට පියවර ගෙන ඇත.

ලැම්බෝගිනි සමාගම පූර්ණ විදුලි රථ සැලසුම් අතහැර හයිබ්‍රිඩ් රථ වෙත යොමුවී ඇති අතර, පෝර්ෂේ සමාගම ද චීනයේ සහ ඇමරිකාවේ පවතින බදු ප්‍රතිපත්ති හා දුර්වල අලෙවිය නිසා සිය විදුලි රථ සැලසුම් සීමා කර ඇත.

අපනයන සීමා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදුලි වාහන ගැනුම්කරුවන්ට ලබාදුන් සහන කපා හැරීම නිසා ෆෝර්ඩ් සහ වොක්ස්වැගන් වැනි සමාගම් ද නැවතත් පෙට්‍රල් වාහන දෙසට වැඩි අවධානයක් යොමු කර තිබේ.