May 26, 2026

අධ්‍යාපන චාරිකාවක පැමිණ කිරින්ද වෙරළ තීරයේ දිය නාමින් සිටි සිසුවියක බේරාගැනීමට තැත් කළ විදුහල්පතිවරයකු මුහුදේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකි.

එම විදුහලේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් සමඟ පැමිණි මෙම චාරිකාවේදී, සිසුන් පිරිසක් මුහුදේ දිය නාමින් සිට ඇත.

එහිදී එක් සිසුවියක ක්ෂණිකව පැමිණි සැඩ ජල පහරකට හසුව මුහුද දෙසට ඇදී ගොස් තිබේ.

එය දුටු විදුහල්පතිවරයා වහා ක්‍රියාත්මක වී ඇය බේරාගැනීම සඳහා මුහුදට පැන ඇති අතර, එහිදී දෙදෙනාම දියවැලකට හසුව ගිලී ඇත.

පසුව ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් දරා දෙදෙනාම බේරාගෙන ඊයේ සවස 5.00 ට පමණ දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කරන විටත් විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරට පත් සිසුවිය මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.