May 26, 2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යාංශ ලේකම්වරියට සහ අතිරේක ලේකම්වරයාට(පාලන) උපදෙස් දී තිබේ.

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ එම ආයතනයේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (25) අමාත්‍යවරිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

මෙම සාකච්ඡාවේදී ළමා ආරක්ෂණයට අදාළ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ අතර, විමර්ශන සහ ඒ ආශ්‍රිත සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දැනට පවතින පුරප්පාඩු පිරවීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

එසේම, ළමා ආරක්ෂණයට සම්බන්ධ අනෙකුත් අදාළ ආයතන සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මීට අමතරව, අදාළ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමේදී අධිකාරියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුව ඇත.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී ප්‍රීති ඉනෝකා රණසිංහ, උප සභාපති ක්ලිෆඩ් පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.