May 25, 2026

උතුරු පළාතේ දන්සල් පැවැත්වීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රකාශයක් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරිමක් සිදුකර තිබේ.

ඔහුට අනුව පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ” මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යනුවෙන් සඳහන් ප්‍රකාශයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වේ.

එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත්ව ගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

දිගු කාලයක් තිස්සේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලි බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.