May 25, 2026

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලැබීමේ ලැයිස්තුවට අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර පැවැති තරඟය තීරණාත්මක එකක් නොවුණත්, විරාත් කෝලි සහ ට්‍රැවිස් හෙඩ් අතර ඇති වූ පෞද්ගලික ගැටුමක් හේතුවෙන් එය ක්‍රීඩාලෝලීන් අතර දැඩි අවධානයක් දිනා ගත්තේය.

හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරමින් තරඟය අවසන් වූ වහාම, විරාත් කෝලි විසින් ට්‍රැවිස් හෙඩ්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ අතර, එය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්විය.

පිටිය මැදදී හෙඩ් හැසිරුණු ආකාරය පිළිබඳ කෝලි අකමැත්තෙන් පසු වූ බව ක්‍රීඩාලෝලීන්ට පැහැදිලි වූ අතර, ඉන් අනතුරුව කෝලිගේ රසිකයන් විසින් ට්‍රැවිස් හෙඩ්ගේ බිරිඳ වන ජෙසිකා ද මෙම ගැටලුවට ඈඳා ගනිමින් ඇයට අපහාස කිරීමට පටන් ගෙන තිබේ.

පිටියේ සිදුවන සිදුවීම් හේතුවෙන් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් මෙවැනි අපහසුතාවලට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ.

2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී රෝහිත් ශර්මාව දවා ගැනීමට ට්‍රැවිස් හෙඩ් රැකගත් විශිෂ්ට පන්දුවෙන් පසුව ද ජෙසිකාට මෙවැනිම අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදු විය.

IPL 2026 තරඟයේ කෝලි-හෙඩ් ගැටුමේ ප්‍රතිඵලය ද ඇයට ඊට වඩා වෙනස් නොවීය.

“ලෝක කුසලානයෙන් පසුව සිදුවූ අපහාස කිරීම් නැවතත් පුනරාවර්තනය වන බවක් මට දැනෙනවා. මම උදේ ඇහැරෙනකොට මගේ සමාජ මාධ්‍ය ගිණුම් පුරාම මඩ ප්‍රහාර එල්ල වෙලා තිබුණා… අපි හොඳින් ඉන්නවා, නමුත් ඔවුන් දැන් මගේ මිතුරන්ට සහ පවුලේ අයටත් ප්‍රහාර එල්ල කරනවා.” යනුවෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් වන ‘ද ඇඩ්වර්ටයිසර්’ වෙත අදහස් දක්වමින් ජෙසිකා පවසා තිබේ.

“මම හිතන්නේ දැනට පවතින සියලුම ක්‍රීඩාවන් පුරාම මානසික සෞඛ්‍යය, දෘෂ්ටිකෝණය සහ අප එකිනෙකා සමඟ කතා කරන ආකාරය පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ඇති විය යුතුයි. දැඩි ඇල්ම සෑම විටම ක්‍රීඩාවේ කොටසක්, නමුත් ක්‍රීඩාව පිටුපස සැබෑ මිනිසුන් සහ පවුල් සිටින බව මතක තබා ගැනීමත් වැදගත්. මෙය එකිනෙකා කෙරෙහි වඩාත් කාරුණික වීමට සහ සහයෝගය දැක්වීමට දිරිගැන්වීමක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම තරඟයේ විස්තර විචාරයේ යෙදී සිටි හිටපු ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් හෙළි කළේ, කෝලි පන්දුවට පහර දෙමින් සිටියදී ඔහු සහ හෙඩ් අතර පිටිය මැද බොහෝ දේ සිදු වූ බවයි.

පිටියේ ඇති වූ එම බහින්බස් වීම අවසානයේ අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම දක්වා දුරදිග ගොස් ඇත.

“ඔව්, මම ඒ වෙලාවේ විස්තර විචාරයේ යෙදිලයි සිටියේ. විරාත් කෝලිත් ක්‍රීඩා කරන්න කැමති ඕස්ට්‍රේලියානුවන් ක්‍රීඩා කරන විදිහටමයි. පොඩි කෝප ගැන්වීමක් පොඩි ආක්‍රමණශීලී බවක්, පිටියේදී වචන හුවමාරු කර ගැනීමක් වගේ දේවල්. කෝලි ඔහුට කියමින් සිටියේ ‘හරි, ඇවිත් පන්දු කිහිපයක් යොමු කරන්න’ කියලයි. ඒ වගේම ‘ඔයා ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙක් නෙමෙයි’ කියලත් කෝලි කිව්වා. සාමාන්‍යයෙන් හෙඩ් ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙක් විදිහට ක්‍රීඩා කරලා පිටියෙන් ඉවතට යනවා. කෝලි ඔහුට පන්දු යවන ලෙස අභියෝග කළා, එහිදී යම් දෙයක් සිදු වුණා. තරඟයෙන් පසුව සිදුවූ දේ ගැන මම වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් පිටිය තුළ සිදුවූ දේ සාමාන්‍ය දෙයක්, එය ඕනෑම තරඟයක සිදුවිය හැකියි. ඔබ ආක්‍රමණශීලීව ක්‍රීඩා කිරීමට සහ ඔබේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට උත්සාහ කරන විට මෙවැනි සුළු බහින්බස් වීම් සහ ආක්‍රමණශීලී ස්වභාවයන් ඇතිවීම සාමාන්‍යයි,” යැයි ඉර්ෆාන් පැවසීය.

කෙසේවෙතත්, බැංගලෝර් සහ හයිද්‍රාබාද් යන කණ්ඩායම් දෙකම දැනටමත් IPL 2026 හි ප්ලේ-ඕෆ් වටය සඳහා සුදුසුකම් ලබා ඇති බැවින්, මෙම තරඟාවලියේදීම ඔවුන් නැවත වරක් එකිනෙකාට එරෙහිව තරඟ වැදීමට ඉඩ කඩක් පවතී.