May 25, 2026

ඕස්ට්‍රේලියාවේ සිට හොංකොං බලා පියාසර කරමින් තිබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවනේදී දැඩි කැලඹිලි සහිත තත්ත්වයකට මුහුණ දීම හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව එම ගුවන් සමාගම තහවුරු කර තිබේ.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ බ්‍රිස්බේන් ගුවන් තොටුපළේ සිට හොංකොං අන්තර්ජාතික ගුවන් තොටුපළ බලා පියාසර කළ, එයාර්බස් A350-900 වර්ගයට අයත් CX156 දරන කැතේ පැසිෆික් ගුවන් යානයයි.

වාර්තාවලට අනුව, යානය ගොඩබෑමට පැය දෙකකට පමණ පෙර, ගුවන් කාර්ය මණ්ඩලය ආහාර සැපයීමට සූදානම් වෙමින් සිටියදී මෙම කැලඹිලි සහිත තත්ත්වය හටගෙන ඇත.

ඒ හේතුවෙන් ආහාර ප්‍රවාහනය කරන ට්‍රොලි සහ අනෙකුත් භාණ්ඩ යානය තුළ එහා මෙහා විසිවී ගොස් තිබේ.

කැතේ පැසිෆික් ගුවන් සේවය ප්‍රකාශ කළේ මෙම සිදුවීමෙන් ගුවන් කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු සහ මගීන් සිව්දෙනෙකු සුළු තුවාල ලැබූ බවයි.

යානය හොංකොං වෙත ආරක්ෂිතව ගොඩබෑමෙන් අනතුරුව, තුවාල ලැබූවන්ගෙන් අට දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇත.

යානයේ සිටි මගීන් පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉතා හදිසියේ සහ දැඩි ලෙස ඇති වූවක් බවයි.

කෙසේවෙතත්, ඉන් අනතුරුව කිසිදු බාධාවකින් තොරව යානය ආරක්ෂිතව හොංකොං වෙත ගොඩබැස්වීමට හැකි වී තිබේ.

යානය හොංකොං අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණි වහාම වෛද්‍ය කණ්ඩායම් ඒ වෙත යොමු කළ බව තහවුරු කළ ගුවන් සමාගම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පවසා සිටියි.