May 24, 2026

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 මැයි 26 සිට ජුනි 3 දක්වා නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය සිදුවන්නේ එම රටවල් ද්විත්වයේ රජයන් විසින් සිදුකරන ලද නිල ආරාධනයකට අනුවය.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍ය හේරත් නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනි වොන්ග් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එහිදී දෙරටටම පොදුවේ වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මෙම රටවල් දෙකෙහිම වෙසෙන ජ්‍යෙෂ්ඨ රජයේ නියෝජිතයන්, නිලධාරීන්, ව්‍යාපාරික නායකයන්, විද්වතුන්, පර්යේෂණ ආයතන (Think tanks) සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් හමුවීමට ද අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

නවසීලන්ත සංචාරයේ විශේෂම සිදුවීමක් වන්නේ වෙලින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම සංචාරය හරහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් තහවුරු වන අතරම, පොදු උනන්දුවක් පවතින ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ද හැකිවනු ඇත.