May 20, 2026

වාහන ආනයනයේදී රේගු ආනයන බද්ද 50%කින් ඉහළ දැමීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර දිනයේදී මෙරට ව්‍යාපාරික ආයතන කිහිපයක් විසින් වාහන 4000ක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කර ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවට චෝදනා කර තිබිණි.

රජයේ රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අචාර්‍ය අනිල් ජයන්ත, එලෙස එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලබාදීමක් සිදුකළේය.

එහිදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

“15 වෙනිදා LC විවෘත කරලා තියෙන්නේ වාහන 1782ක් සඳහා පමණයි. ඩොලර් මිලියන 23.71 යි. මේක තමා දත්තය. ඇත්ත. ඒත් ඒ ප්‍රමාණය සාමාන්‍ය ගණනට වඩා වැඩි ද කියන එක කාට හරි හිතන්න පුලුවන්. ඩොලර් ඉල්ලුම වැඩි වේගෙන එද්දි මුලින්ම බාදාවක් ඇති කරන්නේ වාහන වලට කියලා ඒ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෙ කෙනෙක්ට තේරෙනවා. ඒ නිසා ඉක්මනින් ලිපි විවෘත කරගන්න උත්සාහ කරනවා.

මැයි නෙමේ මාර්තු මාසයේ එක දිනයකදි ඩොලර් මිලියන 47ක ලිපි විවෘත කරලා තියෙනවා. ඒ වෙලාවේ මේ ක්‍රියාමාර්ගය ගනීවි කියන උපකල්පනය කරලා තියෙනවා. මැයි මාසේ ගත්තත් ඩොලර් මිලියන 2, 4, 8, 11වගේ දවසක අගයන් ගිහින් තියෙනවා. 15 වෙනිදා සිකුරාදා දිනයක් ඉදිරි දවස් දෙකටත් එක්කම තමා ලිපි විවෘත කරන්නෙ. තීරණය ගත්තට පස්සේ පවා 18 වෙනිදා ඩොලර් මිලියන 17ක ලිපි විවෘත කරලා තියෙනවා. මොකද මේ කියන්නේ සියලුම වාහන, අධිභාරය වලංගු නොවන වාහනද ඇතුළත්ව.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කරනවා 15 වෙනිදා වාහන 4000කට ලිපි විවෘත කරලා තියෙනවා කියලා. චාමර සම්පත් කරන්නේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. චාමරට මේ අසත්‍ය ප්‍රකාශයට විරුද්ධව මුකුත් කරන්න බැරිද කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. බැහැ මොකද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද නිසා.ඒත් මිනිස්සුන්ට පුලුවන් තීරණයක් ගන්න. මහජන ඡන්දයෙන් ආපු අය නිසා විප්ක්ෂයේ මන්ත්‍රී වරුන් කියන දේවල් වලට වටිනාකමක් දෙන්න ඕනෙ තමයි. ඒත් මේ සමහර අය ඒ වරප්‍රසාද භාවිතා කරන්නේ මොකකටද කියන එක තේරෙනවා පහුගිය කාලේ කියපුවා බැලුවාම. මොකද විපක්ෂයේ උනත් හැමෝම මේ වගේ බොරු කියන්නෙ නෑ.”