May 17, 2026

විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදුවූ දෝෂයක් හේතු කොටගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව මහජන බැංකුව නිවේදනය කරයි.

එසේම මෑතකදී එම දෝෂය හඳුනාගෙන ඇති අතර, එසැණින් එය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට කටයුතු කළ බවද මහජන බැංකුව දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් මහජන බැංකුව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘මෙය හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාළ මෙහෙයුම් ක්‍රියාවලින් වඩාත් ශක්තිමත් කරන ලදී. විනිවිදභාවය සහ විශිෂ්ට පරිචයන් වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව, ශ්‍රී ලංකා මඟ බැංකුව ඇතුළු නියාමන සහ අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මෙම කරුණ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටි.

මේ නිසා සිදුවූ ඇස්තමේන්තුගත මූල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656ක් වන අතර, ඵය දැනටමත් බැංකුව විසින් එම අදාළ කාලසීමාව තුළ ප්‍රකාශයට පත්කර ඇති ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් වී ඇත. වත්මන් ගණන් බැඳීම් වලට අනුව තවදුරටත් මිත් කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකරයි.

මේ හා සම්බන්ධ ගනුදෙනුවලට අදාළ ගනුදෙනුකරුවන්ගෙන් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති අතර, එය සාර්ථකව සිදුකෙරෙමින් පවති.

එමෙන්ම මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ ගනුදෙනුකාර සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සියලුම ගනුදෙනුකරුවන් හට සහ පාර්ශ්වකරුවන්ට දැනුම්දීමට කැමැත්තෙමු. මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.8ක් පමණ වන වත්කම්වලින් සමන්විත අතිශයින්ම ශක්තිමත් මූල්‍ය ආයතනයක් වන බැවින්, මේ තුළින් බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය, ලාභය, ගනුදෙනුකාර ගිණුම් සහ තැන්පතුවල ආරක්ෂාවට ඉහළ බලපෑමක් සිදු නොවේ.

දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාවට බැංකු පහසුකම් සමීප කළ මහජන බැංකුව, විශ්වාසය, ස්ථාවරත්වය සහ වගකීමෙන් යුත් ආයතනයක් ලෙස සිය මෙහෙයුම් ක්‍රියාවලිය සහ ගනුදෙනුකාර සේවාව ඉහළම ප්‍රමිතීන්ට අනුකුලව ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කැපවී සිටී.’