May 16, 2026

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩ නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදුකළ වැටලීමකට අදාළව වරද පිළිගත් එම වෙළෙඳුන් දෙදෙනාට මෙහිදී රුපියල් ලක්ෂ තුනක මුළු දඩ මුදලක් නියම වී ඇත.

රු. 100යේ පානීය ජල බෝතලයක් රු.130ට විකිණූ අම්පාර, මුවංගල හන්දිය ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට රු. ලක්ෂ 1½ක දඩයක් නියම වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අම්පාර, උහන පාර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් විසින් උපරිම සිල්ලර මිල රු. 230ක් වන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 250කට අලෙවි කිරීමේ වරදට රුපියල් 150,000ක දඩයක් නියම වී ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ භාණ්ඩ මිලදී ගැනීමේදී එහි සඳහන් උපරිම සිල්ලර මිල අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බවයි.