May 14, 2026

ශ්‍රී ලංකා­වට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලා­පය, තව­දු­ර­ටත් පැව­තීම සහ වැසි තත්ත්වය හේතු­වෙන් ගංව­තුර අව­දා­න­මක්ද ඇතිව තිබේ. ඉදිරි පැය 48 තුළ එම පද්ධ­තිය ශ්‍රී ලංකා­වෙන් ඉව­තට ගමන් කර­මින්, ක්‍රම­යෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ශ්‍රී ලංකාව ආශ්‍රි­තව පව­තින අඩු පීඩන කලා­පය පිළි­බ­ඳව අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

එසේම ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය නාය­යාම් පිළි­බඳ දෙවැනි මට්ටමේ අන­තුරු ඇඟ­වීම් දිව­යිනේ දිස්ත්‍රික් 11කට නිකුත් කර ඇත. පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් මඩ­ක­ල­පු­වෙන් එක් මර­ණ­යක්ද ඊයේ වාර්තා වී තිබේ. අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පවුල් 62ක පුද්ග­ල­යන් 203 දෙනෙක්ද ඊයේ වන විට බල­පෑ­මට ලක්ව තිබුණි. සුර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­වල 17 දෙ‍ෙනක් රඳවා තැබුණු බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කළේය.

නිවාස 39කටද අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කළේය. පද්ධ­තියේ බල­පෑම හේතු­වෙන් දිව­යිනේ දැනට පව­තින වැසි සහිත කාල­ගුණ තත්ත්වය ඉදිරි දින 2 තුළ­දීද, තව­දු­ර­ටත් පව­තිනු ඇතැයි බලා­පො­රො­ත්තුවේ.

එමෙන්ම දිව­යින වටා දැනට පව­තින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහි­ප­යේදී තව­දු­ර­ටත් බලා­පො­රොත්තු වේ. මේ සම්බ­න්ධ­යෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනා­වැකි සහ නිවේ­දන පිළි­බ­ඳව අව­ධා­න­යෙන් පසු­වන ලෙස ධීවර, නාවික ප්‍රජාව ඇතුළු ජන­තා­ව­ගෙන් දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී.

අඩු පීඩන කලා­පයේ බල­පෑ­මෙන් බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, වයඹ පළා­ත්ව­ලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක්ව­ලත් ඇතැම් ස්ථාන­වල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති­විය හැකි බව අද (14) පෙර­වරු 8.30 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ රතු නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. දිව­යිනේ අනෙ­කුත් ප්‍රදේ­ශ­වල ඇතැම් ස්ථාන­ව­ලට මි.මී. 100ක පමණ තද වැසි ඇති­විය හැකි බවද එහි දැක්වේ.

ඊයේ (13) පෙර­වරු 8.30 සිට පෙර­වරු 2.30 වන විට පුත්ත­ලම කාල­ගුණ මධ්‍ය­ස්ථා­න­යෙන් මි.මී. 256.2ක වර්ෂා­ප­ත­න­යක් වාර්තා වී ඇති බව කාර්යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ කසුන් පැස්කු­වල් මහතා පැව­සීය. එමෙන්ම පව­තින අඩු පීඩන කලා­පයේ බල­පෑම ඉවත් වූ පසුව නිරි­ත­දිග මෝසම ස්ථාපිත වීම සඳහා අවශ්‍ය තත්ත්වය ක්‍රම­යෙන් සැක­සෙනු ඇති බවද ඔහු පැව­සීය.

ඊයේ (13) පෙර­වරු 8.30න් අව­සන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාව කැස්බෑව ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. එමෙන්ම මි.මී 201.9ක් රත්ම­ලාන ප්‍රදේ­ශ­යෙන්ද, මි.මී. 173.1ක් කළු­තර දිස්ත්‍රි­ක්කයේ බණ්ඩා­ර­ගම ප්‍රදේ­ශ­යෙන්ද, මි.මී 161ක් රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ගිලී­මලේ ප්‍රදේ­ශ­යෙන්ද, මි.මී. 130.5ක් රත්න­පුර නග­ර­යෙන්ද වාර්තා විය.

පව­තින අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් ඇති­වන ආපදා තත්ත්වය පිළි­බ­ඳව දැනුම් දීම සඳහා 117 දුර­ක­තන අංකය ජන­තාව සඳහා පැය 24 පුරාම විවෘ­තව පව­තින බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි­ප්පිලි මහතා පැව­සීය. අනා­ර­ක්ෂිත ස්ථාන­වල දිය නෑම ඉතා අන­තු­රු­දා­යක බව සඳ­හන් කළ අධ්‍ය­ක්ෂ­ව­රයා පසු­ගිය මාස කිහි­පය තුළ එවැනි ස්ථාන­වල දිය නෑමෙන් මරණ කිහි­ප­යක් වාර්තා වූ බවද ප්‍රකාශ කළේය. ගිගු­රුම් සහිත වැසි සමඟ ඇති­විය හැකි තාව­කා­ලික තද සුළං­ව­ලින් සහ අකුණු අන­තුරු අවම කර ගැනීම සඳහා අව­ධා­නය යොමු කරන ලෙසද ඔහු ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය.

ඇති විය හැකි ආපදා තත්ත්වය පිළි­බ­ඳව ජන­තාව දැනු­වත් කිරී­මට ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය, දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ ඒකක නිර­න්ත­රව කට­යුතු කරන බවද, අපදා තත්ත්ව­යක් ඇති­වු­ව­හොත් ජන­තාව ඉන් බේරා­ගැ­නීම සඳහා අවශ්‍ය කණ්ඩා­යම් අවශ්‍ය උප­ක­රණ සහි­තව සූදා­නම් බවද අධ්‍ය­ක්ෂ­ව­රයා පැව­සීය. අධික වැසි හේතු­වෙන් කොළඹ දිස්ත්‍රි­ක්කයේ ප්‍රදේශ ගණ­නා­වක්ද ජල­යෙන් යට­විය. මාර්ග ජල­යෙන් යට­වීම, ගස් අතු කඩා වැටීම් වාර්තා විය.

බදුල්ල, ගාල්ල, කළු­තර, මහ­නු­වර, කෑගල්ල, කුරු­ණෑ­ගල, මාතලේ, මාතර, මොන­රා­ගල, නුව­ර­එ­ළිය, රත්න­පුර දිස්ත්‍රි­ක්ක­වල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස ගණ­නා­වක් සඳහා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය නාය­යාම් පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ දෙවන සහ පළමු අදි­යරේ නිවේ­දන නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා නාය­යාම් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීමේ දෙවන අදි­යරේ අන­තුරු ඇඟ­වීමේ නිවේ­ද­නය නිකුත් කර තිබෙන අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38ක් සඳහා නාය­යාම් පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ පළමු අදි­යරේ අන­තුරු ඇඟ­වීම නිකුත් කර තිබේ.

පව­තින වර්ෂා තත්ත්වය හේතු­වෙන් ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍ය පරි­මාණ ජලාශ 18ක් ඊයේ පස්ව­රුව වන විට වාන් දම­මින් පැවති බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රකා­ශ­ක­යෙකු සඳ­හන් කළේය. ඇතැම් ගංගා­වල ඉහළ ධාරා ප්‍රදේ­ශ­ව­ලට ලැබූ සැල­කිය යුතු වර්ෂා තත්ත්වය හේතු­වෙන් කළු, නිල්වලා, ගිං ගංඟා­වල සහ අත්ත­න­ගලු ඔයේ ජල මට්ටම් ඊයේ (13) පස්ව­රුව වන විට ඉහළ මට්මක පැව­තිණ.

අද (14) දිනයේ බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළා­ත්ව­ලත් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යේත් විටින් විට වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති වන බව අද දිනය සඳහා කාල­ගුණ අනා­වැ­කි­යක් නිකුත් කර­මින් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම සහ වයඹ පළා­ත්ව­ලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ස්ථාන­ව­ලට මිලි­මී­ටර් 100ට වැඩි තද වැසි ඇති­විය හැකිය.

දිව­යිනේ අනෙ­කුත් ප්‍රදේ­ශ­වල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති වේ. හලා­වත සිට කොළඹ, ගාල්ල සහ හම්බ­න්තොට හරහා පොතු­විල් දක්වා වෙර­ළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේ­ශ­වල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකි­යා­වක් පව­තින බවද එම නිවේ­ද­නයේ දැක්වේ. මෙය ගොඩ­බි­මට එන රළ උස නොවන බවද දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

(දිනමිණ)