May 13, 2026

එප්පාවල ප්‍රදේශයේ රජයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු තවත් සිසුන් පස් දෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

තුවාල ලැබූ සිසුන් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පස්දෙනාම එම පාසලේ උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හදාරණ 12 ශ්‍රේණියේ සිසුන් වේ.

පොලිසිය පැවසුවේ මෙම පහරදීම එම පාසලේම විද්‍යා විෂය ධාරාව හදාරණ 12 ශ්‍රේණියේ තවත් සිසුවකු විසින් සිදුකර ඇති බවයි.

සැකකාර සිසුවා සහ තුවාල ලැබූ එක් සිසුවකු අතර දින කිහිපයකට පෙර ආරවුලක් ඇති වී ඇති බව වාර්තා වී තිබේ.

එහිදී ගැටුමක් ද ඇති වී ඇති අතර, තියුණු ආයුධයක් භාවිත කරමින් සැකකාර සිසුවා මෙම පහරදීම සිදුකර ඇත්තේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙසින් බව කියනු ලැබේ.

සැකකාර සිසුවා එක් සිසුවකු ඉලක්ක කර තිබූ අතර, ඊට මැදිහත් වීමට උත්සාහ කළ තවත් සිසුන් සිව් දෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තියුණු ආයුධයක් පාසල් පරිශ්‍රයට ගෙනැවිත් සිසුන් පස් දෙනාට තුවාල සිදු කළ සිසුවා සිද්ධියට භාවිත කළ ආයුධය සමඟ එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.