May 12, 2026

15 හැවිරිදි බාලවයස්කාර දැරියක දුෂණය කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබේ.

එවැනි නියෝගයක් තමන්ට නිකුත් කළ නොහැකි බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (12) යළි කැදවු අවස්ථාවේදීය.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්, බන්ධනාගාර නිලධාරින් පැවසුවේ සැකකාර හේමරතන හිමියන් දුර බැහැරකට ප්‍රවාහනයට කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති බව සහ උන්වහන්සේ විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටද භාජනය කිරිමට ඇති බැවින් අද දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකි බවයි.

මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන්, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස ඇතුළු නීතීඥයන් සහ බන්ධනාගාර නිලධාරීන් අමතමින්, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බව ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

එම හිමියන් අද දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බව බන්ධනාගාර නිලධාරීන් පැවසුවද සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සහ අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව සඳහන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය තම අධිකරණයට මෙතෙක් ලැබී නැති පසුබිමක සහ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මෙම අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින පසුබිමක සැකකාර හිමියන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කිරිමට තමාට නීතිමය හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

එවැනි තත්ත්වයක් තුළ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ නම් එම නියෝගයද දැනට පවතින තත්ත්වය අනුව නිකුත් කළ යුත්තේ සැකකාර හිමියන් නිරීක්ෂණය කර අද දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝගය ලබාදුන් මහේස්ත්‍රාත්වරයා විසින්ම බව ද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න සඳහන් කළේය.

ඒ අනුව, මෙම නඩුව එළැඹෙන 15 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් නීතීඥවරුන් වන හේමන්ත ගමගේ, කූජන බානගොඩ, ෂමින්ද හේරත්, ජනිත් මහසෙන් සහ හිමංසා සමරදිවාකර යන පිරිස සමඟ ජනාධිපති නිතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පෙනී සිටියේය.

මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, කාලිංග රවීන්ද්‍ර, මදාරා විජේසිංහ, ජයලත් අබේසිංහ යන පිරිස ඇතුළු අනුරාධපුරයේ නීතීඥවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අනුරාධපුරයේ නීතීඥවරුන් සහ නීතීඥවරියන් 30කට ආසන්න ප්‍රමාණයක් විවෘත අධිකරණයේ රැඳී සිටි අතර, එම පිරිස අතරින් ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක සහ නිතීඥවරුන් වන සංජය රත්නායක සහ සුනන්ද තෙන්නකෝන් ඇතුළු නීතීඥවරු සහ නීතීඥවරියන් 7 දෙනෙකු පමණ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී නොසිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් නිට්ටඹුව පොලිසිය විසින් ඉකුත් 8 වැනිදා රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගනු ලැබුයේ උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න ලබාදී තිබූ නියෝගයකට අනුවය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කොට තිබුණේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරණ නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේකෝන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සළකා බලමිනි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේකෝන් පැවසුවේ මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නැමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳ ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවු බවද නීතීඥවරිය පැවසුවාය.

ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම විමසීම්වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැඳවා කරුණු දැක්වීමට තීරණය කළ බවද නීතීඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

මෙම අපරාධයේ සැකකරුවකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසද අයැද සිටි නීතීඥවරිය ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියාය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද නීතීඥවරිය අධිකරණයෙන් අයැද සිටියාය.

ඒ අනුව, නීතීඥ සජීවනී අබේකෝන් අධිකරණයට කළ කරුණු දැක්වීම සැළකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නිට්ටඹුව පොලිසියට නියෝග කළේ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙසයි.

ඊට අධිකරණයේ අවසරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබාදුන්නේය.

ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන් සහ සහකාර අධ්‍යක්ෂ නීතීඥ හන්සි හලංගොඩ පිරිස පෙනී සිටියහ.

මේ අතර, මෙම අපරාධය සිදුකිරීමට සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වින්දිත බාලවයස්කාර දැරියගේ මවද මෙම මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කොට තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මුලින්ම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වුයේ, අප්‍රේල් මස 27 වැනි දිනය.

මෙලෙස කරුණු දක්වා දින 12ක් ගතවන තුරුත් සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත්විය.

ජාතික ළමාරක්ෂක අධිකාරිය මෝසමක් මගින් මෙම නඩුව කැදවා අධිකරණයට කරුණු දක්වා සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබාගන්නා තුරු පොලිසිය සැකකාර හිමියන් අත්අඩංගුවට නොගත්තේය.

මේ අතර, තමන්ව පළමුව දූෂණය කලේ සැකකාර හිමිනම බව වින්දිත බාලවයස්කාර දැරිය සිය ප්‍රකාශ මගින් උන්වහන්සේගේ ඡායාරූප පෙන්වා නමද සඳහන් කරමින් අනාවරණ කර තිබීයදී සැකකාර හේමරතන හිමියන්ගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන උන්වහන්සේ අත්අඩංගුවට නොගෙන මුදාහැරීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුරුද්ධ විජයරත්න මීට පෙර පැවසුවේ, සැකකාර හිමියන් අත්අඩංගුවට නොගැනීම තුළින් පොලිසිය උන්වහ්නසේට විශේෂ වරප්‍රසාදයක් ලබාදී ඇති බවයි.

ඒ තුළින් පොලිසිය නීතිය නමා සමාජයට වැරදි පුර්වාදර්ශයක් ලබාදී ඇති බවටද ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුරුද්ධ විජයරත්න කියා සිටියේය.