May 12, 2026

උණ රෝගයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) නැවත විවෘත කිරීමට නියමිතය.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ පැවසීය.

සිසුන් අතර උණ රෝගයක් වාර්තා වීමෙන් පසු දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් පසුගිය බ්‍රහස්පතින්දා තාවකාලිකව වසා දමන ලදී.

බලපෑමට ලක් වූ පාසල්වල සිසුන් 56 දෙනෙකු පමණ රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

පළාත් අධ්‍යාපන ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ අදාළ පාසල්වල සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ස්ථාපිත කර ඇති අතර, විශේෂයෙන් ජලය භාවිතය සම්බන්ධයෙන් සනීපාරක්ෂක පිළිවෙත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස උපදෙස් ද නිකුත් කර ඇති බවයි.