May 12, 2026

බිළිඳු මරණයක් නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) ත්‍රිකුණාමලයේ සභාපති ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීම ත සංගමයට අදාළ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවක් අතරතුර එම සංගමයේ නියෝජිතයකු සඳහන් කළේ, සිය සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදුකළද නොකළද රටේ බිළිඳු මරණ සිදුවන බවයි.

වැඩවර්ජනයක් අතරතුර තම සාමාජිකයෙක් සිය රාජකාරී මගහැරීම තම සංගමයට අදාළ කාරණයක් නොවන බවද GMOA නියෝජිතයා සඳහන් කළේය.

​රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉකුත් අප්‍රේල් 09 වනදා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී බිළිඳකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංගමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සභාපතිවරයා ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන දෙදෙනාගේය.

විශේෂඥ වෛද්‍ය වීරසේන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාඛාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

​සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සිදු කළ මූලික විමර්ශනයකට අනුව, ඉකුත් අප්‍රේල් 09 වනදා පෙරවරු 8.45 ට පමණ සිදු කළ දරු ප්‍රසූතියකදී දරුවාට අසූචි පෙවී (Meconium) ඇති බවට වාට්ටුව භාර වෛද්‍යවරිය විසින් හඳුනාගෙන තිබේ.

අදාළ තත්ත්වය පිළිබඳව ඇය විසින් අවස්ථා හයකදී මෙම වෛද්‍යවරුන් දෙදෙනා දුරකථනයෙන් දැනුවත් කර තිබියදීත්, ඔවුන් සූත්‍රිකාගාරය වෙත පැමිණ නොමැති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වෛද්‍යවරුන්ගේ මෙම පැමිණීම ප්‍රමාද වීම සහ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් කුස තුළ සිටි බිළිඳා මියයෑමට ඉඩ හැරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල වී තිබේ.

​අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ, රජයේ රෝහලේ මෙම හදිසි තත්ත්වය මඟහැර සිටි කාලය තුළ මෙම වෛද්‍යවරුන් දෙදෙනාම රෝහලට ආසන්න පෞද්ගලික රෝහලක වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සඳහා සහභාගී වී ඇති බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පවතින අතරතුර රජයේ රෝහලේ රාජකාරි පැහැර හරිමින් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම සහ එම අවස්ථාවේදී රෝහලේ රාජකාරි කළ බව දැක්වීමට රෝහල් දින පොතේ අසත්‍ය සටහන් යොදා තිබීම ද අමාත්‍යාංශයේ දෝෂදර්ශනයට ලක්ව ඇත.