May 5, 2026

ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව මෙරට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය අතර එම අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ඇත.

මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සඳහා දෙරටේ නීතිරීතිවලට එකඟව සමතාවයකින් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇති වන පරිදි ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මඟින් අපේක්ෂා කරනු ලබයි.

මෙරට දුම්රිය පද්ධතියේ යටිතල පහසුකම් ඉදිකිරීම, නවීකරණය, විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා වන සැපයුම් දාමය යන ක්ෂේත්‍රයන් සඳහා වන සහයෝගිතාව ඇති කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම ඉවහල් වනු ඇත.

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.