May 5, 2026

පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු හට නීති මඟින් කටයුතු නොකර, නිදහස් කිරීමට අල්ලස් වශයෙන් රු.200,000ක මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව පසුගිය අප්‍රේල් 19වැනිදා පොලිසිය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

අල්ලස් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අප්‍රේල් 24 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් වැටලීම සිදු කර තිබේ.

එහි දී එක් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පොලිස් කොස්තාපල්වරයකු අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇත.

එලෙස පලා ගිය පොලිස් කොස්තාපල්වරයා වූ කිවුල්දෙනිය හේරත් මුදියන්සේලාගේ දිනූෂ ෂෙහාන් බණ්ඩාර කිවුල්දෙනිය යන අය ඊයේ(04) පෙ.ව.9.40ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.