May 5, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට පත්කර සිටින සාමාජිකයන් සිව් දෙනෙකුට ඊයේ නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ සඳහා රජය විසින් පත්කරන ලද කමිටුව වෙනුවෙන් පත්කර සිටින සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර් සහ අවන්ති කොළඹගේ මෙලෙස පත්වීම් ලිපි ලබාගෙන තිබිණි.

එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, උපුල් කුමාරප්පෙරුම සහ ඩිනාල් පිලිප්ස් ඇතුළු සාමාජිකයන් නව දෙනෙකුගෙන් සමන්විත වේ.

අමාත්‍යාංශය සඳහන් කළේ සාමාජිකයන් කිහිප දෙනෙකුට දැනටමත් පත්වීම් ලිපි ලැබී ඇති අතර මහානාම සහ සංගක්කාර යන සාමාජිකයන් දෙදෙනාට තවමත් පත්වීම් ලිපි ලැබී නොමැති බවයි.

ඊට හේතු වී ඇත්තේ ඔවුන් දෙදෙනා මේ වනවිට විදේශගතව සිටීම බව සඳහන්ය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත මගින් අමාත්‍යවරයාට පවරා ඇති බලතල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කමිටුවට පැවරී ඇත.