May 4, 2026

ඉන්ධන මිල සංශෝධනයෙන් පසු පාසල් ප්‍රවාහන ගාස්තු නුදුරේදීම ඉහළ යෑමට ඉඩ ඇති බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

ඩීසල් මිල මෑතකදී ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම අවශ්‍ය වී ඇති බව සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේය.

ඔහු පැවසුවේ එම වැඩිවීම සාධාරණව තබා ගැනීමට උත්සාහ කරන බවයි.

කිසියම් වෙනසක් ක්‍රියාත්මක කිරීමට පෙර මාපියන් සමඟ සාකච්ඡා කරන බවත් සංශෝධනය ප්‍රතිශතයක් මත පදනම් වූ වැඩිවීමක් නොව ස්ථාවර මුදලක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

අතීතයේ දී ඩීසල් මිල වැඩි කිරීම් කිහිපයක් සිදු වුවද, මාපියන් කෙරෙහි සැළකිල්ලක් දක්වමින් ප්‍රවාහන සේවා සපයන්නන් ගාස්තු වැඩි කිරීමෙන් වැළකී සිටි බව ද සිල්වා තවදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, වර්තමාන තත්ත්වයන් යටතේ, පවතින අනුපාත පවත්වා ගැනීම වඩ වඩාත් දුෂ්කර වී ඇත.

“ඩීසල් මිල රු. 10කින් ඉහළ ගියා. මම දිගු කලක් මාපියන්ට බරක් නොවී මෙම සේවාව දිගටම කරගෙන ගියා. නමුත් දැන් මට ගාස්තු වැඩි කිරීමට සිදුවෙලා තියෙනවා,” ඔහු පැවසීය.

ඉන්ධන පිරිවැය වැඩිවීමට අනුකූලව ගාස්තු සකස් කිරීම මිස මාපියන් මත විශාල බරක් පැටවීම අරමුණ නොවන බව ඔහු අවධාරණය කළේය.

“මම ඉල්ලා සිටින්නේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ගණනය නොකර, ඩීසල් මිල වැඩිවීම පිළිබිඹු කරන සාධාරණ ප්‍රමාණයකින් ගාස්තු සකස් කරන්න කියලා. ඉන්ධන පිරිවැය නැවත නැවතත් ඉහළ යෑම හේතුවෙන්, සංශෝධනයක් නොවැළැක්විය හැකි තත්ත්වයක අපි දැන් ඉන්නේ” ඔහු තවදුරටත් පැවසීය.