May 1, 2026

නාරාහේන්පිට ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවන් වීඩියෝගත කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර තොරතුරු ලබා දී තිබේ.

ඒ අනුව, නාරාහේන්පිට පොලිස් වසමේ ෆයිෆ් පාර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති වැඩමුළුවකට පැමිණ සිටි වෛද්‍යවරියන් කිහිපදෙනකු සමඟ තවත් කාන්තාවන් පිරිසක් එම හෝටලයේ නේවාසිකව සිටි බවත්, ඔවුන් භාවිතා කළ නාන කාමරයේ සිටියදී පුද්ගලයෙකු විසින් එහි ජනේලය හරහා වීඩියෝ ගතකිරීමක් සම්බන්ධයෙන් 2026.04.29 දින නාරාහේන්පිට පොලිස් ස්ථානයට ලද 119 පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම හෝටලයේම වෙනත් කාමර කිහිපයක නවාතැන් ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන පන්නල හා මහනුවර ප්‍රදේශවල පදිංචි ක්‍රීඩා තරඟයක් සඳහා පැමිණ එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකි.

මෙම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු බවත්, මොවුන් ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගනයේ පැවැති පුහුණුවීම් කටයුතු සඳහා පැමිණ ඉහත හෝටලයේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සමඟ නවාතැන් ගෙන සිට ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2026.04.29 දින අළුත්කඩේ ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර 2026.05.25 දිනට නඩුව නැවත කැඳවීමට නියෝග කර ඇත.

නාරාහේන්පිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.