May 1, 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් මස 28 වැනි දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහසකට (2000) අධික තොගයක් සිය භාරයට ගෙන ඇත.

එම තොගය රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් සිව්දෙනකු හා එම තොගය මෙරටට රැගෙන ඒමට සූදානම්කර තිබූ බවට සැකකෙරෙන, මෙරට ඩිංගි යාත්‍රා තුනක් සමඟ සැකකරුවන් හයදෙනකුද නාවික හමුදා නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන් වයස අවුරුදු 18ත් 50ත් අතර වන අතර, ශ්‍රී ලාංකික සැකකරුවන් වයස අවුරුදු 21ත් 42ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව, නාවික භාරයට ගත් එම සැකකරුවන්, යාත්‍රා සහ බීඩි කොළ තොගය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.