May 1, 2026

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පූර්ව තීන්දු රැසක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ. මුලින්ම එය සිදු කර තිබුණේ අධිකරණ වෛද්‍ය වාර්තා නොමැතිව නිශ්චිත අදහසක් පළ කළ පොලිස් මාධ්‍ය කොට්ඨාසයයි. පොලිසියත් කළ එකේ අනෙක් ඒවා ගැන කවර කතා ද? ගමේ ඔහුට විරෝධතා තිබූ බව ද තවත් කතාවකි. නිශ්චිත සිද්ධිය වූ ඩොලර් මිලියන 2.5 විමර්ශනවලට සහාය නොදුන් බවට තවත් කතාවකි.
අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලවල බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ බරපතළ ගැටලු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි.

මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය. එවැනි තත්ත්වයක් තුළ මේ අසත්‍ය පුවත් අභියෝගය ජයගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් අවශ්‍ය වේ.

ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අතිශය බහුතරයක් අසත්‍ය පුවත්, එහෙමත් නැත්නම් ෆේක් නිව්ස් පිළිගනී. එසේම ඔවුහු තර්කයකින් තොරව තමන්ගේ මතවාද සමග ඒවා ඉදිරියට ගෙන යෑමට ද කටයුතු කරති. එවැනි තත්ත්වයක් තුළ සත්‍ය පුවත් සමාජගත කිරීම බරපතළ අභියෝගයකි.

එහෙත් එය ජයගත හැකි අභියෝගයකි. ඒ සඳහා ව්‍යාජ පුවත් යනු මොනවාද යන්න නිවැරදිව හඳුනාගත යුතු වේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව, පුවත්පත් – ගුවන්විදුලි – රූපවාහිනී ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍ය තුළත් ඒ වෙනුවෙන් නිවැරදි අර්ථනිරූපණයක් තිබිය යුතුය. අනෙක් අතට ඒ වෙනුවෙන් වන දැනුම් පද්ධතියක්, නැතහොත් සාක්ෂරතාවක් තිබිය යුතුය.

ආණ්ඩු-විපක්ෂ භේදයකින් තොරව ලෝකය පුරා දේශපාලන ඉලක්ක වෙත ව්‍යජ පුවත් මගින් ජනතාව මෙහෙයවන ආකාරය, නිශ්චිත ප්‍රජාවක් පීඩාවට පත්කිරීම සඳහා ව්‍යාජ පුවත් භාවිත කරන ආකාරය අපි අත්දැක ඇත්තෙමු.

එසේම අසත්‍ය පුවත් පළකරන්නෙකු අත්අඩංගුවට ගැනීම මගින් මේ තත්ත්වය පාලනය කළ හැකි යැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නම්, එය බරපතළ මුලාවකි. සමාජ මාධ්‍ය වැනි පුළුල් අවකාශයකදී එය තාවකාලික තත්ත්වයකි.

අනෙක් අතට මේ අත්අඩංගුවට ගැනීම්වලදී මතු වන තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ පුවතක් අසත්‍ය ද යන්න තීරණය කරන්නේ කවුද, කුමන නිර්ණායක මත ද යන්න ය. පොලිසියට එය සිදු කළ නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට ද එය කළ නොහැකිය. ඊට හේතුව වඩාත් පැහැදිලිව පෙනෙන අසත්‍ය පුවත්වලදී හැර, අනෙකුත් තැන්වලදී එය හඳුනාගැනීම සම්බන්ධයෙන් වන විධිමත් – පිළිගත් නිර්ණායක නොමැති වීම ය.

වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම අසත්‍ය පුවත් සම්බන්ධ බරපතළ හා තීරණාත්මක උදාහරණයකි. එය නිවැරදි කිරීමක් සිදු වූයේ නැත. ඒ පිළිබඳ වගකීම කිසිවෙකු ගත්තේ නැත. පෞද්ගලික ව කෙසේ වෙතත්, පොදුවේ සමස්ත සමාජයට සිදු වූ හානිය එසේ ම ය. තවත් උදාහරණයකි, විදුලි පුටුව. එය මෙරට මුල් ම දේශපාලනික ෆේක් නිවුස් එක යනුවෙන් ද හැඳින්විය හැකිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද අධිකරණයට ගෙන යන බවත්, එහි විදුලි පුටුවක් ඇති බවත්, ඔහුට දඬුවම් දීම සඳහා එහි වාඩිකරවන බවත් පැවසිණි. එය ප්‍රධාන මාධ්‍ය මගින් පුන-පුනා අවධාරණය කෙරිණි. සත්‍ය කතාව නම් ජාත්‍යන්තර යුද අධිකරණයේ කිසිදු ජීවිත හානිකිරීමක් නොකරයි. ඔවුන්ට එසේ කරන්නට නොහැක. එනම්, මේ සමස්ත විදුලි පුටු කතාව ම අසත්‍යයකි. එහෙත් එය මාධ්‍යයෙන් නිවැරදි ව, ප්‍රමාණවත් තරම් ප්‍රශ්න කෙරුණේ නැත. එම නිසා තවමත් එම පුවත පිළිගන්නා පුද්ගලයෝ සිටිති. එනම්, මේ අසත්‍ය පුවත් සෘජු ව ම දේශපාලනය හා බැඳී පවතී.

ඩිජිටල් යුගයේ ජනමාධ්‍යකරණය යනු වෙන ම වැඩකි. එය සාක්ෂරතාව මත රැඳී පවතිනවා සේම, සාක්ෂරතාව තිබූ පමණින් ඒ සමග හැප්පීමට ද නොහැකිය. ඒ නිසා අන්තර්ජාලයේ ඇති මාධ්‍ය හරස්කඩ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතු අතර, ෆේක් නිවුස් සංස්කෘතිය සමග සටන් කිරීමට තරම් දැනුමින් සහ තොරතුරුවලින් සන්නද්ධ වීම ද අත්‍යවශ්‍ය ය.

(ශාලික විමලසේන)