May 1, 2026

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට අධිචෝදනා ගොනු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් අධිකරණයට දැනුම්දුන්නේ ය.

ලබන ජූලි මස 08 වැනිදා ඊට පියවර ගන්නා බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දී සිටියේය.

මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් දිලීප පීරිස් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමශර්න අවසන් කරන ලෙසට මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවට නියෝග කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින (29දා) අධිකරණයේ පෙනීනොසිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ තම සේවාදායකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.

සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේය.

එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම්දුන්නේය.

මෙහි අනෙක් සැකකරු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද ඇප මත සිටිමින් අධිකරණයේ පෙනීසිටියේය.

මෙම නඩුව ලබන ජූලි 08 තෙක් කල් තැබිණි.(දිවයින)