May 1, 2026

අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පියාසර කළ ගුවන් යානය තුළ ගමන් ගත්, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත්බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900 ක මුදලක්, වෛද්‍යවරයා නින්දේ සිටි අතර සොරා ගත් චීන ජාතිකයකු කොළඹ කොටුව කැසිනෝ ශාලාවකදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම රුසියානු වෛද්‍යවරයා, නින්දේ සිටියදී, ඔහුගේ අත්බෑගය, ගමන් මලු රාක්කයේ තබා තිබියදී, මෙම චීන ජාතිකයා විසින් මෙම සොරකම සිදුකර ඇත.

කටුනායක ගුවන් තොටුපොළෙන් බැස ගත් රුසියානු වෛද්‍යවරයා, තම අත් බෑගයෙහි තිබූ මුදල් අඩු බව වැටහී ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිළි කර තිබේ.

එසැනින් වහා ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර, මෙම ගුවන් යානයෙහි පැමිණි එකම චීන ජාතිකයා වූ මොහු කඩිනමින්, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා මගහරිමින් පිටතට ගමන් කර, ගුවන් තොටුපොළ කුළී රථයක නැගී පළායන අන්දම නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව එම කුලීරථ සේවා කවුන්ටරය වෙත ගොස් අදාළ කුලී රථයේ ගමනාන්තය සොයාගෙන, පොලිස් නිලධාරීන් පිරිසක් ද සමග කොළඹ කොටුව කැසිනෝ ශාලාව වෙත ගොස්, එහි ආරක්ෂ කැමරා පද්ධතිය පරීක්ෂා කර, මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.(ලංකාදීප)