April 17, 2026

වත්මන් විපක්ෂය කටයුතු කරන්නේ ජනතාව පිළිබඳ සිතාබලමින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොපමණ ගැටලු තිබුණ ද විපක්ෂයක් ලෙස වැඩවර්ජනයක් සඳහා හෝ මැදිහත් නොවන්නේ එබැවින් බවයි.

”වැඩවර්ජනයක්වත් නොකරන්නේ කරන්න බැරි නිසා නෙමෙයි. අපි දන්නවා මොනතරම් ප්‍රශ්න ඇති වෙයිද කියලා. ජනතාවට උපරිම සහයෝගය ලබාදීලා කටයුතු කරන්න කියලා තමයි අපි දැන් කියන්නේ.”

”අපි බදු වැඩි කරනවා නම් වැඩි කළේ පොහොසත් කොම්පැනිවලින්. අපි රජයේ සේවකයන්ට වාර්තාවක් තියලා පඩි වැඩි කළේ. ඒවා තමයි තාම බලපාමින් කටයුතු කරන්නේ. පෙන්ෂන් එක වැඩි නොකළාද?”

”මේවා අමතක වෙලා තමයි අද ඒවා ලැබෙන්නේ නැතිවුනහම මොනවද ඉස්සර ලැබුණේ කියලා මතක් වෙන ස්වරූපය තියෙන්නේ.”

”මට මතකයි අපි පොරොන්දු 100 කින් 87 ක් දවස් 30 වැඩපිළිවෙලින් ලබා දීලා තියෙන එක. ඒ වගේ ඒවා අවුරුදු 04 ක් ඒ ආකාරයෙන්ම තිබුණා. ඒවා අද දීලා හෙට ගත්ත ඒවා නෙමෙයි”