April 29, 2026

ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) හමුවට කැඳවා තිබේ.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පවසන ආකාරයට, මුදල් අමාත්‍යාංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ බ්‍රහස්පතින්දා (30) ලේකම්වරයාට කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් දී තිබේ.

කමිටුව විසින් ඒකමතිකව මෙම තීරණය ගත් බවත්, ගැටලුවේ බරපතලකම කමිටුව විසින් සලකා බලා ඇති බවත් හර්ෂ ද සිල්වා පවසයි.

“අපි මෙය ජාතික ගැටළුවක් ලෙස සැලකිය යුතුයි. පක්ෂග්‍රාහී අදහස් සහිතව අපට මෙය විසඳා ගත නොහැකියි. පැහැදිලිවම ගැටලුවක් තිබෙනවා, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පූර්ණ බලය තිබෙනවා,” ඔහු සඳහන් කරයි.

ස්ථාවර නියෝග යටතේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කැඳවා කාරණය පරීක්ෂා කිරීමට කමිටුවට බලය ඇති බව ඔහු තවදුරටත් පවසයි.

“භාණ්ඩාගාර ලේකම්වරයා කමිටුව හමුවට කැඳවිය යුතු බව මම තරයේ කියා සිටිනවා. සාකච්ඡාවෙන් පසු, සියලුම සාමාජිකයින් මෙම යෝජනාවට ඒකමතිකව එකඟ වුණා,” ඔහු ප්‍රකාශ කරයි.

මහ බැංකු අධිපතිවරයා ද කැඳවා ඇති බවත්, සියලුම කමිටු සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙන බවත් ද හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.