April 28, 2026

කෘත්‍රිම බුද්ධිය (AI) මත යැපීම පිළිබඳ මහජනතාවට අනතුරු අඟවමින් AI තියුණු පිහියක් වැනි යැයි මෙරට සාම පා ගමනක නිරතව සිටින පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමියෝ පැවසූහ.

කැලණිය රජමහා විහාරයේ අද පැවති ධර්ම සැසියක් අමතමින් උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, උපකාර ලබාගැනීම සඳහා AI තාක්ෂණය වෙත යොමු වීමට පෙර තමන්ගේම චින්තන හැකියාවන් මත විශ්වාසය තබන ලෙසය.

සිසුන් ඇතුළු බොහෝ පුද්ගලයන් වැඩි වැඩියෙන් AI අනිසි ලෙස භාවිත කරන බවත් ස්වාධීන චින්තනයේ සහ මතක භාවිතයේ පුරුද්ද ක්‍රමයෙන් නැති කර ගන්නා බවටත් පඤ්ඤාකර හිමියෝ අනතුරු ඇඟවූහ.

“දැන් සිසුන් පවා තමන් නොසිතා රචනා සහ ඊමේල් ලිවීමට AI භාවිත කරනවා. මීට පෙර, අපි ගණනය කිරීම් කිරීමට අපගේ මොළය භාවිත කළා, නමුත් දැන් අපි සෑම දෙයකටම AI මත රඳා ඉන්න හදනවා. මෙය දිගටම පැවතුනහොත්, අපි තවදුරටත් අපගේම මනස භාවිත නොකර ඉඳියි. අපි රොබෝවරු වගේ වෙයි,” පඤ්ඤාකර හිමියෝ පැවසූහ.

ඇතැමුන් මූලික ජීවන තීරණ සම්බන්ධයෙන් පවා AI වෙතින් මග පෙන්වීම ඉල්ලා සිටීමට පටන් ගෙන ඇති බව උන්වහන්සේ කණස්සල්ලෙන් සඳහන් කළහ.

“AI භාවිතය නිසි ලෙස කළමනාකරණය කළ හැකි නම්, එය අපට ආරක්ෂිත වෙයි. නමුත් අපි එයට ඇබ්බැහි වුණොත්, එය අපගේ ජීවිතවලට හානි කළ හැකියි. එමනිසා මිනිසුන් සැමවිටම තමන්ගේ මනස භාවිත කර ගැටළු විසඳීමට උත්සාහ කළ යුතුයි,” පඤ්ඤාකර හිමියෝ අවධාරණය කළහ.

AI බලවත් හා ප්‍රයෝජනවත් මෙවලමක් වුවද, එය ඉතා ප්‍රවේශමෙන් සහ සිහිකල්පනාවෙන් යුතුව හැසිරවිය යුතු බව උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

“AI යනු තියුණු පිහියක් වගේ. නිසි ලෙස භාවිත කළහොත් එය ප්‍රයෝජනවත්. නමුත් නොසැළකිලිමත් ලෙස භාවිත කළහොත් අපට හානි කළ හැකියි. එලෙසම, AI අනිසි ලෙස භාවිත කිරීම මගින් අපගේ ජීවිතවලට හානි කළ හැකියි ,” පඤ්ඤාකර හිමියෝ තවදුරටත් පැවසූහ.

AI වෙතින් උපකාර පැතීමට පෙර පළමුව තම මොළය භාවිත කරන ලෙසත්, අවශ්‍ය විටදී සහ වගකීමෙන් යුතුව තාක්ෂණය යෙදවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.