April 28, 2026

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය සම්බන්ධ විමර්ශන ශ්‍රී ලංකාවේ විමර්ශනයක් බවත්, ඉල්ලීමක් කළහොත් ඕස්ට්‍රේලියාව වැඩිදුර සහාය සඳහා කරන ඕනෑම ඉල්ලීමක් සළකා බලන බවත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් අපරාධකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීමේ සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

අදාළ කොල්ලය සිදුව තිබුණේ ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ගෙවීමකට අදාළව ය.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) දැනට විමර්ශනයට සහාය වෙමින් සිටී.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නියෝජිත පිරිසක් මෙහි පැමිණේදැයි කළ විමසීමකදී, ඕස්ට්‍රේලියාව දැනටමත් සහාය වෙමින් සිටින බව මහ කොමසාරිස්වරයා පැවසීය.

“මම දැනටමත් කියලා තියෙන විදිහට අපි සහාය වෙමින් සිටිනවා, නමුත් එය ශ්‍රී ලංකාවේ විමර්ශනයක්. ඊට අපි ගරු කරනවා. ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ට අවශ්‍ය අමතර සහාය තීරණය කරයි. නියමිත වේලාවට වැඩිදුර සහාය සඳහා වන ඕනෑම ඉල්ලීමක් අපි ඇත්ත වශයෙන්ම සළකා බලනවා,” යැයි ඔහු පැවසීය.